
කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම් සඳහා රජයට අයත් රුපියල් කෝටි දෙකක වටිනාකමින් යුතු ඉඩමක් කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයව අත්අඩංගුවට ගැනීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් දෙවන වරටත් වරෙන්තු නිකුත් කළාය.
අප්‍රේල් 21 වන දින පැවති නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම වරෙන්තු නිකුත් කර ඇත.
මේ අතර, මෙම සිද්ධියට අදාළව පළමුවැනි සැකකරු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ (සිංගප්පූරු සරත් ලෙස හඳුන්වන) සහ තරංග නවීන් වීරකෝන් යන සිව් දෙනා ලබන මැයි 5 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
විමර්ශන නිලධාරීන්ගේ කරුණු දැක්වීම
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, “මෙම සිද්ධියට අදාළව අධිකරණය මගහරින සැකකරුවන් වන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමට ඉකුත් අප්‍රේල් 9 වන දින අධිකරණයෙන් පළමුවරට වරෙන්තු නිකුත් කළ බවයි.
එම වරෙන්තු ඔවුන් පදිංචි නිවාසවලට ගෙන ගොස් පවුලේ ඥාතීන් වෙත භාර දී ඔවුන් පිළිබඳව විමසීමට කටයුතු කළ විට, සැකකරුවන් අදාළ පදිංචි ස්ථානවලින් පලාගොස් ඇති බවට පවුලේ ඥාතීන් විසින් ප්‍රකාශ ලබා දී ඇත.
මේ හේතුවෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන සිදු කරමින් පවතින අතර, අධිකරණය මගහරින එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බව නිලධාරීන් පැවසූහ.
මීට අමතරව, රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් සිව් දෙනාට පොදු දේපළ පනත යටතේ නඩු පවරා ඇති බවත්, ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියම කරන ලෙසත් විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියහ.
මර්වින් සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, සිල්වා මහතාට ප්‍රතිකාර කළ නවලෝක රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතා විසින් ඔහු සම්බන්ධව පසු ගිය දින වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව මේ වනවිට මර්වින් සිල්වා මහතාගේ මුත්‍රා රෝගී තත්ත්වය උත්සන්නව සැරව ගැලීම දක්වා වර්ධනය වී ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
හිටපු අමාත්‍යවරයාට අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාර රෝහලෙන් නොලැබෙන බවත්, එම නිසා ඔහුට නවලෝක රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
තවද, මෙම නඩුව දේශපාලන නඩුවක් වන බැවින් බන්ධනාගාර නිලධාරීන් ප්‍රතිකාර ලබා දීම සඳහා ක්‍රියාත්මක නොවන බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අධිකරණයේ තීරණය
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මහර බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානය යොමු කිරීමට නියම කළාය.
එමෙන්ම, රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් සිව් දෙනා ඉදිරි දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහර බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.
අධිකරණයේ තවත් තීරණයක් වූයේ, මෙම නඩුවට අදාළව රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් මහර බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන නීරීක්ෂණය කර, අදාළ නියෝග ඔවුන්ට දැනුම් දීමට කටයුතු කිරීමයි.
මෙම නඩු විභාගය මැයි 5 වන දින යළි පැවැත්වීමට නියමිතය.
Saru FM Media