ඇඟලුම් -රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

0
4

ඉකුත් වසරේ (2025) පළමු කාර්තුව සමග සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ඇඟලුම් සහ රෙදිපිළි, තේ යන අපනයන ක්ෂේත්‍රවලින් ලැබී ඇති අපනයන ආදායම අඩුවී ඇතැයි වාර්තා වේ.

ඉකුත් වසරේ පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) ඇඟලුම් සහ රෙදි පිළි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,383 ක් වූවද, මේ වසරේ පළමු කාර්තුවේදී එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,272 කට ආසන්න අගයක් දක්වා අඩුවී ඇති බව පැවසේ.

තේ අපනයන ආදායම ඉකුත් වසරේ පළමු කාර්තුව තුළදී ඇමරිකානු ඩොලර් 370 ක් වූවද, මේ වසරේ පළමු කාර්තුව තුළදී එම ආදායම ඇමරිකානු ඩොලර් 351 ක් දක්වා අඩුවී තිබේ.

එමෙන්ම, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළු බඩු සහ සුගන්ධ තෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන යන භාණ්ඩවලද අපනයන ආදායම් ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේදී අඩුවී ඇති බව වාර්තා වේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළදී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,308 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා කියයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

එය ඉකුත් වසර (2025) සමග සැසඳීමේදී සියයට 2 ක වර්ධනයක් බවද ඔහු කීවේය.

මේ වසරේ පළමු කාර්තුවේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 3,387 ක්ද, සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 921 ක් බවද සභාපතිවරයා පැවැසීය.

මැද පෙරදිග යුද්ධයෙන් පසුව නැව් ගාස්තු වැඩිවීම, රක්ෂණ ගාස්තු වැඩිවීම නිසා මෙරට අපනයනකරුවන්ට ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, ඊට ප්‍රධානම හේතුව අපනයන භාණ්ඩවල පිරිවැය වැඩිවීම බවද ඔහු කීවේය. 

මැද පෙරදිග රටවලට භාණ්ඩ අපනයනය කිරීමේදී යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඉකුත් මාර්තු මාසයේ මුල් සති දෙක තුළදී ඇතිවූ බවත්, විශේෂයෙන් ගුවන් මගින් සහ නැව් මගින් භාණ්ඩ යැවීමේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ බවද ඔහු පැවැසීය. 

මාර්තු මාසය මැද වනවිටදී ගුවන් මගින් භාණ්ඩ යැවීමේදී යම්කිසි ප්‍රමාණයක වර්ධනයක් තිබෙන බවත්, නැව් මගින් ඝෘජුව භාණ්ඩ යැවීමේ අපහසුතා උද්ගතව තිබෙන බැවින් වෙනත් මාර්ග ඔස්සේ මැද පෙරදිග රටවලට භාණ්ඩ අපනයනය කිරීමට අපනයනකරුවන් යොමුවී සිටින බවද සභාපතිවරයා කියා සිටියේය. 

එමෙන්ම, වෙනත් රටවලටද භාණ්ඩ අපනයනය කිරීමේදී නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු වැඩිවීම හරහා වර්තමානයේදී යම්කිසි ප්‍රමාණයක බලපෑමක් ඇතිවී තිබෙන බවද ඔහු පැවැසීය. 

මූලාශ්‍රය – සතිඅග අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here