අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන් යටතේ සිදු විය හැකි දේ. හොඳ ආකෘතියක් කියන්නේ බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපගේ නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකෘතියක්. මෙය ඕනෑම විද්‍යාවකට පොදු කරුණක්.
බොහෝ විට, ශුද්ධ විද්‍යා ආකෘතියක් මගින් විස්තර කෙරෙන තත්ත්වයන් අපට සාමාන්‍ය තත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකි දේවල් සමඟ පහසුවෙන් ගලපා ගන්න පුළුවන්. ඒ ආකෘති වල විචල්‍යයන් අතර සම්බන්ධය සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමාජ විද්‍යා ආකෘති සම්බන්ධව තත්ත්වය තරමක් වෙනස්. අපට නිරීක්ෂණය කළ හැකි තරම් කෙටි කාලාන්තර ඇතුළත විචල්‍යයන් අතර සම්බන්ධය වෙනස් වෙනවා. එවිට ආකෘතියක වලංගුතාවය නැති වී යන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා ආකෘතියකින් කරන්නේ පවතින තත්ත්වය විස්තර කරන එක. පවතින තත්ත්වය වෙනස් කිරීම දේශපාලනය. දේශපාලනය හරහා සමාජයක පවතින තත්ත්වය වෙනස් කෙරෙද්දී ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එවිට එතෙක් හොඳින් “වැඩ කළ” ආර්ථික විද්‍යා ආකෘතියක් ඒ විදිහටම වැඩ නොකරන්න පුළුවන්.
මේ වගේ අවස්ථාවකදී ආකෘතිය ඇත්තක් සේ සලකමින් සමාජයේ සිදු වන දෙය සිදු නොවිය යුතු, “වැරදි” දෙයක් කියා අපට කියන්න බැහැ. හරි වැරදි සෙවීම දේශපාලනයේ වපසරියට අයිති දෙයක්. දේශපාලනය හරහා සමාජය වෙනස් වෙනවානම්, ඒ වෙනස් වීම් වලින් පසුව කලින් වැඩ කළ ආකෘති තව දුරටත් සාර්ථකව වැඩ කරන්නේ නැත්නම්, කළ යුත්තේ ආකෘති වෙනස් කර ගන්න එක. එහෙම නැත්නම් අලුත්ම ආකෘති හදා ගන්න එක.
සමාජයීය විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වරූපය වෙනස් වෙන්නේ දේශපාලනික වෙනස්කම් නිසා පමණක් නෙමෙයි. තාක්ෂනය වෙනස් වීම නිසාත් එම සම්බන්ධතා වල ස්වරූපය විශාල ලෙස වෙනස් වෙනවා. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ ආකෘති වලින් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ආකෘති බොහොමයක් විවිධ හා වෙනස් වන තත්ත්වයන් යටතේත් හොඳින් වැඩ කරනවා. ඒ තත්ත්වයේ වෙනසක් වෙන්නනම් එක්කෝ විශාල දේශපාලනික වෙනසක් විය යුතුයි. එහෙම නැත්නම් තාක්ෂනයේ විශාල වෙනසක් සිදු විය යුතුයි.
ප්‍රායෝගිකව තනි පුද්ගලයකුට සමාජය විශාල ලෙස වෙනස් කරන්න බැහැ. අප බොහෝ දෙනෙකු ජීවත් වන්නේ “දෙන ලද” සමාජයක. එවැනි සමාජයක අන්තර් සම්බන්ධතා තේරුම් ගත හැකි හොඳ ආකෘති තිබෙනවා. මේ ආකෘති වල උදවුවෙන් තනි පුද්ගලයෙකුට, ආයතනයකට හෝ රටකට වඩා හොඳ තීරණ ගන්න පුළුවන්.
කවුරු හෝ කෙනෙක් ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් කරනවානම් ඒ ක්‍රීඩාවේ නීති පිළිපදින්න වෙනවා. මේ නීති තමන්ට අභිමත පරිදි වෙනස් කරන්න බැහැ. නමුත් මේ නීති වෙනස් නොවෙන, ස්ථිර නීති නෙමෙයි. වරින් වර මේ නීති වෙනස් වෙනවා. ඇත්තටම කිවුවොත් වෙනස් කරනවා. එසේ කරන්නේ කිසියම් බලාධිකාරයක් විසින්. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය. ඒ බලාධිකාරියේ කොටසක් විය හැක්කේ පවතින නීති යටතේ ක්‍රීඩා කර උඩට එන කෙනෙකුට පමණයි. හරි වුනත්, වැරදි වුනත්, සාමාන්‍ය ලෝක ස්වභාවය ඕක තමයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ගන්න බැරි රටකට ක්‍රිකට් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. යම් හෙයකින් හිතුමතේට එවැනි වෙනසක් කළා කියලා වෙනත් කිසිවෙක් ඒ වෙනස පිළිගන්නේ නැහැ. ඒ රටේ ක්‍රිකට් තව දුරටත් ක්‍රිකට් නොවන එකයි අන්තිමට වෙන්නේ. නමුත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන රටක් යම් වෙනසක් යෝජනා කළොත් එය අලුත් සම්මතයක් වෙන්න පුළුවන්. එවැන්නක් වැළැක්විය හැක්කේත් කවුන්සලයේ රටකටම පමණයි.
ජාත්‍යන්තර වෙළඳාම ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. ලංකාව වගේ රටකට තියෙන නීති වලට අනුව ක්‍රීඩා කරනවා මිසක් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. නමුත් ඇමරිකාවේ ආණ්ඩුවට ක්‍රීඩාවේ නීති වෙනස් කරන්න පුළුවන්. එහෙම කරන්න උත්සාහ කරද්දී ලංකාව වගේ රටකට අඩු වශයෙන් විරුද්ධ වෙන්නවත් බැහැ. එහෙම කරන්න පුළුවන් “කවුන්සලය” ඇතුළේ ඉන්න චීනය වගේ රටවල් වලට පමණයි.
ජාත්‍යන්තර වෙළඳ ක්‍රීඩාවේ නීති කාලයක් තිස්සේ වරින් වර වෙනස් වී තිබෙනවා. ඒ වෙනස්කම් සිදු කර තිබෙන්නේ හොඳින් ක්‍රීඩා කරන රටවල් විසින්. ඇමරිකාව වගේ රටකට තනිව වුවත් ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන්.
Saru FM Media