බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්

0
11

සැකකාරියට එරෙහිව ගොනු කරන චෝදනා කුමක්ද? – විනිසුරු විමර්ශන නිලධාරීන්ගෙන් අසයි

සංවිධානාත්මක අපරාධ හා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් රඳවාගෙන විමර්ශන සිදුකරන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂාණි පත්තිනිගේ නමැත්තිය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගමගේ මහතා ඊයේ (18දා) නියෝග කළේය.

එදිනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට එම සැකකාරියට එරෙහිව අන්තරාදායක ඖෂධ පනතේ 54 (ආ) දරන වගන්තිය යටතේ විමර්ශන කරන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිතව අධිකරණයට දැනුම් දෙන ලෙස ද දන්වා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම සැකකාරියට එරෙහිව පවතින නඩු කටයුත්තට පෙනී සිට අධිකරණයට සහාය දැක්වීම සඳහා රජයේ අධිනීතිඥවරයකු යොමු කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිරයා දැනුවත් කිරීමට ද නියෝග කෙරිණි.

එම සැකකාරිය කටුනායක ගුවන්තොටුපළේදී පොලිසිය භාරයට ගන්නා විට ඇය සන්තකයේ තිබූ පවුම් 40 කට අධික රන් ආභරණ, මැණික් හා ස්වර්ණාභරණ අධිකරණය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇතත් මේ දක්වා එකී වාර්තාව ලැබී නොමැති බව විමර්ශන නිලධාරීහු පැවැසූහ. සැකකාරිය ඇගේ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකාරිය ඇප මත මුදා නොහරින ලෙසද විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඇගේ සැමියාට එරෙහිව හෙරොයින් ග්‍රෑම් 38ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අධිකරණයට පෙන්වා දුන් විමර්ශන නිලධාරීහු එකී නඩුව පවරා තිබියදී විත්තිකාර බැකෝ සමන් නමැත්තා මෙම සැකකාරිය හා දරුවා සමග රටින් පලාගොස් ඇතැයි ද පැවැසූහ. සැකකාරිය එලෙස විදේශ ගතවී ඇත්තේ වැඩිමහල් දරුවාගේ උප්පැන්නයේ සඳහන් දරුවාගේ පියාගේ නම මකාදමා වෙනස් කිරීමෙන් අනතුරුව බවත් ඇය ඇපමත මුදාහැරීමෙන් විමර්ශනවලට බලපෑම් විය හැකි බවත් අධිකරණයට පෙන්වා දුන්හ.

සැකකාරියගේ නමින් පවත්වාගෙන ගොස් තිබෙන බැංකු ගිණුම් හතරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් විමර්ශන සිදුකරන බවත් මත්ද්‍රව්‍ය ජාවාරමට ඇයට ඇති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් විමර්ශන සිදුකරන බවට දැනුම් දී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සැමියාට එරෙහිව චෝදනා ඇතත් මෙම සැකකාරියට එරෙහිව ඇත්තේ කුමන චෝදනාදැයි මේ දක්වා විමර්ශන නිලධාරීන් පැහැදිලිව අධිකරණයට දන්වා නොමැති බව පැවැසූ සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ලක්මාල් රත්නායක මහතා දරුවා රැකබලා ගැනීමට කිසිවකු නොමැති නිසා කුඩා දරුවා ද සිටිනුයේ බන්ධනාගාරයේ බව කීය.

එම දරුවා බන්ධනාගාරයට රැගෙන ගිය දින සිට දැඩි ලෙස රෝගාතුරව නේවාසික ප්‍රතිකාර ලබාදෙන බවද පැවැසූ සැකකාරියගේ නීතිඥවරයා ඇගේ සැමියාට එරෙහිව මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව අවසන් අදියරට පැමිණ තිබියදී තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පැවැසීම පුදුමසහගත බව කීය.

සැකකාරියට එරෙහිව ගොනු කරන චෝදනා කුමක්දැයි විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අන්තරාදායක ඖෂධ පනතේ 54 වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනු කරන්නේ නම් ඇපදීමේ නෛතික බලයක් තම අධිකරණයට නොමැති නිසා නිශ්චිතව ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here