පාකිස්තානය සුපිරි සිව්දෙනාගේ වටයට

0
7

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

ඉන්දීය – පකිස්තාන් තරගය ආරම්භයේදී සහ අවසානයේදී ඉන්දීය ක්‍රීඩකයන් අතට අත නොදීම සම්බන්ධයෙන් තරගයේ තීරකවරයා වූ ඇන්ඩි පයික්‍රෝෆ්ට් හට ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා බදාදා 17 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තරගයට පකිස්තානය ප්‍රමාදවී ක්‍රීඩාංගණයට පැමිණියහ.

ඒ අනුව ආසියානු කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත වේලාවට වඩා පැයක් ප්‍රමාදවී ආරම්භ විය.

පාකිස්තානයේ පළමු කඩුලු 2ක ලකුණු 9ක් තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එක්සත් අරාබි කණ්ඩායමේ ජුනයිඩ් සිද්ධික් සමත් වුවද, තෙවැනි කඩුල්ල සඳහා පිටියට එක්වූ පාකිස්තාන අත්දැකීම් බහුල ක්‍රීඩක ෆකර් සමාන් සහ නායක සල්මාන් අගා එක්ව ගොඩනැඟූ ලකුණු 61ක සබඳතාවත්, ඉනිමේ අවසාන භාගයේදී පිටියට පැමිණි ශහීන් ෂා අෆ්රිඩි පන්දු 14ක් වැයකරමින් ලබාගත් ලකුණු 29ත් හේතුවෙන් 2025 අසියානු කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 41ක ජයක් ලබාගැනීමට පාකිස්තානය සමත්වූ අතර, එම ජයත් සමග ඔවුන්ට අවසන් සිව්දෙනාගේ වටයේ ස්ථානය වෙන්කර ගැනීමට ද හැකියාව ලැබිණි.

ඒ අනුව ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ පාකිස්තාන කණ්ඩායම සහ එම කාණ්ඩයේම පෙරමුණේ පසුවන ඉන්දියානු කණ්ඩායම අතර සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගය එළඹෙන ඉරිදා (21 දා) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව ඇත.

පෙරේදා (17 දා) ඩුබායි හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව ලකුණු 147ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට පාකිස්තාන පන්දු බළඇණිය හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 105ක් වීම හේතුවෙන් ලකුණු 41ක ජයක් පාකිස්තානයට හිමිවිය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆකර් සමාන් පන්දු 36කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 29ක්, නායක සල්මාන් අගා ලකුණු 20ක් සහ මොහොමඩ් හැරිස් ලකුණු 20ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජුනයින් සිද්ධික් ලකුණු 18කට කඩුලු 4ක් සහ සිම්රන්ජිත් සිං ලකුණු 26කට කඩුලු 3ක් දවාලීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී රාහුල් චොප්රා ලකුණු 35ක්, ඩ්‍රේව් ප්‍රෂාර් ලකුණු 20ක්, මොහොමඩ් වසීම් ලකුණු 14ක් සහ අලිෂාන් ෂරාෆ් ලකුණු 12ක් ලැබීය. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 16කට කඩුලු 2ක්, හැරිස් රාවුෆ් ලකුණු 19කට කඩුලු 2ක් සහ අබ්රාර් අහමඩ් ලකුණු 13කට කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස ශහීන් ෂා අෆ්රිඩි සම්මාන ලැබීය.

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here