චීනය අනුරට අලුත් යෝජනාවලියක් එවයි! ගත්තත් අමාරුවේ..! නොගත්තත් අමාරුවේ..! අනුර සද්දයක් නෑ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

0
11


සාකච්ඡාවට යවන ටීම් එක කව්ද?

මාලිමාවට පැලවත්තෙන් නියෝගයක්!

මෝදි රතු එළි දල්වයි!

අනුරට බලපෑමක් ඇවිත්!

නිවාඩුවෙත් කචල්

වෙනදා නම් අලුත් අවුරුදු නිවාඩු සමයේදී දේශපාලකයන් ගම්බිම් බලා ගොස් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල නිරත වීම නිසා කොළඹ දේශපාලනය සම්පූර්ණයෙන්ම ඇත්තේ මලානිකව ගොස්ය. ඒ හේතුවෙන් එම අවුරුදු කාලසීමාවේදී වැදගත් දේශපාලන සිදුවීම්, සාකච්ඡා සිදු නොවන තරම්ය. පසුගිය කාලයේදී එසේ වුවත් මෙවර නම් අවුරුදු නිවාඩුව කියා ලංකාවේ දේශපාලනයට ලොකු නිවාඩුවක් තිබුණේ නැත. විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාව ඇතුළු රටවල් රැසකට පනවා තිබූ තීරුබදු හේතුවෙනුත්, ඉන්දීය අගමැති මෝදිගේ සංචාරය මුල් කරගෙන පැනනැගී තිබූ පශ්චාත් සිදුවීමුත්, චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ලංකාව සම්බන්ධ නව ප්‍රතිපත්තියත් හේතුකොට ගෙන මෙවර අලුත් අවුරුදු සමයේදී තිරය පිටුපස කිසිවකුත් නොදත් ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සිදුව තිබිණි. ඒ අනුව අලුත් අවුරුදු නිමාවෙන් පසු පළවන පළමු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේම අප ඉදිරි කාලසීමාව ඇතුළත ලංකාව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර වශයෙන් සිදුවීමට නියමිත බරපතළ සිදුවීම් ගණනාවක් පිළිබඳ තොරතුරු ගෙන ඒමට සූදානම්ය.Sri Lanka Latest News

විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේම පැනවූ තීරුබදු ප්‍රශ්නය මේ වනවිට ගෝලීය වෙළෙඳ යුද්ධයක් කරා ඇදීයන ලකුණු නිර්මාණය කොට තිබේ. බොහෝ දෙනා මෙහි ඇති භයානක තත්ත්වය නොදන්නවා වුවද අවිවලින් සිදුකරන සටනකට වඩා අතිභයානක හානියක් මේ වෙළෙඳ සටනේදී සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. පසුගිය කාලසීමාව පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වරින් වර වාර්තා කළ කරුණක් වූයේ චීනය හා ලංකාව අතර ඉතා බරපතළ අවිශ්වාසයක්, සැකයක් නිර්මාණය වෙමින් පවතින බවකි. විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයෙන් අනතුරුව ඉටුකරනු ලබන බවට පොරොන්දු වූ කිසිවක් ලංකාව පැත්තෙන් ඉටු නොවීම හේතුකොට ගෙන මෙම අවිශ්වාසය, සැකය වර්ධනය වෙමින් පවතින බව මෙහිදී අපි අවධාරණය කර සිටියෙමු.

ජින්පින් අලුත් පිම්මක

ට්‍රම්ප් විසින් චීනය ඉලක්ක කර පැනවූ අධික තීරුබද්දත් සමග නිර්මාණය වූ චීන ඇමෙරිකා ආර්ථික යුද්ධය හමුවේ පසුගිය සතියේ චීන ජනාධිපතිවරයා හදිසියේම ආසියාවේ සියලු රටවල් නියෝජනය කරන චීන තානාපතිවරුන් බීජිං නුවරට කැඳවීමට පියවර ගත්තේය. එහිදී අතිශය රහසිගත සාකච්ඡාවක් චීන ජනාධිපතිවරයා හා චීන තානාපතිවරුන් අතර පැවැති අතර, එහිදී ට්‍රම්ප්ගේ බදු පැනවීම හමුවේ චීනය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳවත්, ට්‍රම්ප්ගේ බදු හේතුවෙන් බරපතළ අර්බුදයන්ට මුහුණ දී ඇති රටවලට චීනය උදව් කළ යුතු ආකාරය පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන් හොන් මහතාද සහභාගි වී සිට ඇති අතර, හෙතෙම ට්‍රම්ප්ගේ තීන්දුව හමුවේ ලංකාව පත්ව ඇති තත්ත්වය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට කටයුතු කොට ඇත. ඒ අනුව අසල්වැසියන් සමග සිය ප්‍රතිපත්ති හුවමාරු කරගන්නා ආකාරය පිළිබඳවත්, අසල්වැසි රාජ්‍යයන්ට උපකාර කරන ආකාරය පිළිබඳවත් සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව චීනය විසින් පසුගිය සතියේ ලංකාව සම්බන්ධයෙන් සකස් කළ විශේෂ යෝජනාවලියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබෙන්නට සලස්වා තිබිණි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා චීනයේ මෙම යෝජනාවලිය අධ්‍යයනය කොට ඇති නමුත් ඊට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවකි. ඒ අනුව ලංකාවට මුහුණ දීමට නියමිත එක් අර්බුදයක් වී ඇත්තේ චීන ජනාධිපතිවරයා විසින් එවා ඇති එම යෝජනාවලියය.

නැව් ප්‍රශ්නය

ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති ඊළඟ අර්බුදය වී ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී දෙරට අතර අස්සන් කළා යැයි කියන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් චීන පාර්ශ්වය දක්වන ස්ථාවරයය. අපට ඇති ආරංචිවලින් පැවසෙන්නේ මෙම ආරක්ෂක ගිවිසුම තුළ චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන් විශේෂ වගන්තියක් ඇතුළත් කොට ඇති බවට චීනය සතුව තොරතුරු ඇති බවය. එහිදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට චීන පර්යේෂණ නෞකාවක් ඇතුළත් කරන්නේ නම් ඒ සඳහා ඉන්දියාවේ අවසරය ලබාගත යුතු බවට වූ වගන්තියක් ඇතුළත් කොට ඇති බවක් චීනය පැත්තෙන් වාර්තා වී තිබේ.

අනුරගේ චීන සංචාරය ආරම්භ වීමට ප්‍රථම චීන පර්යේෂණ නෞකාවන්ට මෙරට මුහුදු සීමාවන්ට ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී චීන පර්යේෂණ නෞකා ලංකාවට ඇතුළු වුවත්, ඉන්දියාවෙන් එල්ල වූ දැවැන්ත පීඩනය හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසරක කාලයක් සඳහා චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවන්ට ඇතුළු වීම තහනම් කොට තිබිණි. චීනය මෙය දුටුවේ තමන්ගේ රටේ අභිමානයට එල්ල වූ ප්‍රහාරයක් ලෙසටය. එම නිසා අනුරගේ චීන සංචාරය අතරතුරදී චීනය පැත්තෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් වූ විට චීනයේ අභිමානයට හානියක් නොවන පරිදි ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාදීමට ජනාධිපතිවරයාගේ පැත්තෙන් වචනය දී තිබිණි. නමුත් තවමත් ආණ්ඩුව පැත්තෙන් එම පොරොන්දුව ඉටුකර නොමැති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව තවමත් කිසිදු චීන පර්යේෂණ නෞකාවකට ලංකාවේ මුහුදු සීමාවට ඇතුළත් වීමට නොහැකි පරිදි වූ තහනම දිගටම ක්‍රියාත්මකය.
චීන ජනාධිපතිවරයාගේ යෝජනාවලිය අනුර කුමාර දිසානායක මහතා අතට පත්වනුයේ එවැනි පසුබිමක් යටතේය. මේ යෝජනාවලිය ලංකාවට වාසිද අවාසිද යන්න සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තොරතුරක් නැතත් මතුවෙමින් පවතින වෙළෙඳ යුද්ධය හමුවේ ලංකාවට එය අවාසි වේ යැයි සිතිය නොහැක. ඒ අනුව ලංකාව එම යෝජනාවට කැමැති වුවත්, චීනය සිය අභිමානය පිළිබඳ ප්‍රශ්නය ලෙහෙසියෙන් අතහරිනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැක. ඒ අනුව අදාළ යෝජනාවලිය ඉදිරියට ඇදෙනු ඇත්තේ පර්යේෂණ නෞකා සම්බන්ධ සිද්ධියේදී චීනයේ අභිමානය පිළිබඳ මාතෘකාව මතය.

මෝදිගෙන් රෙඩ් සිග්නල්

මේ අතර, චීන යෝජනාවලිය ජනාධිපතිවරයා අතට පත්වෙද්දී චීන ජනාධිපති ෂී ජින්පින් ට්‍රම්ප්ගේ බදු හමුවේ දැඩි ලෙස පහර වැදී සිටින රටවල් ඉලක්ක කර සංචාරයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජින්පින් මැලේසියාව, කාම්බෝජය, වියට්නාමය වැනි රටවල සංචාරය කරමින්, එක් රාත්‍රියක් බැගින් එම රටවල නැවතී සිටීමටද පියවර ගත්තේය. එමෙන්ම ගිවිසුම් විශාල ප්‍රමාණයක් අස්සන් තැබීමටද චීන ජනාධිපතිවරයා කටයුතු කළේය. මේ හරහාද චීන යෝජනාවලිය සම්බන්ධයෙන් ලංකාවට යම් පීඩනයක් එල්ල වෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන.
මේ සියල්ල අතරවාරයේ චීනය ඉන්දියාවට යාබදව ඇති බංග්ලාදේශය සහ පාකිස්තානය සමගද වෙන වෙනම වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළු වීමට සැලසුම් සකස් කරමින් සිටී. මෙය ඉන්දියාවේ දැඩි කෝපයට හේතුවී ඇති බවක් පෙනී යන්නේ ඉන්දීය අගමැති මෝදි ලංකාවෙන් පිටව ගිය වහා බංග්ලාදේශය සම්බන්ධයෙන් ගත් තීරණය නිසාය. එහිදී මෝදි කළේ ඉන්දීය මුහුදු සීමාව හරහා දිවෙන නැව් මාර්ගය බංග්ලාදේශයට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමය. එමෙන්ම බංග්ලාදේශයට ඉන්දීය වරායන් භාවිත කිරීම වැළැක්වීමටද මෝදි පියවර ගත්තේය. ඒ හරහා බංග්ලාදේශය මේ වනවිට මහත් අර්බුදයකට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. අනෙක් පැත්තෙන් එය ලංකාවටද කළ බරපතළ අනතුරු ඇඟවීමක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය. ඒ අනුව මෙම ජාත්‍යන්තර අර්බුද මත ලංකාව කෙමෙන් කෙමෙන් බරපතළ ආර්ථික සහ භූ දේශපාලන අර්බුදයක සිරවෙමින් පවතින බවක් දැකගන්නට පුළුවන. එක් පැත්තකින් ලංකාවට, ඉන්දියාව අතහැර චීනය දෙසට හැරීමටද නුපුළුවන. අනෙක් පැත්තෙන් ඇමෙරිකාව සමග මේ මොහොතේ ගැටුමක් හදාගැනීමටද නුපුළුවන. ඒ අනුව ලංකාව මේ වනවිට මුහුණ දී සිටින්නේ මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වැනි දේශපාලන උභතෝකෝටිකයකටය.

ජිනීවා බරපතළයි

අනෙක් පැත්තෙන් ඉකුත් වතාවකදී අප අනාවරණ කළ පරිදිම ලබන සැප්තැම්බරයේදී ලංකාවට එරෙහිව තවත් බරපතළ යෝජනාවක් ජිනීවාහි මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වීමට නියමිතය. ඒ සඳහා ප්‍රධානත්වය ගෙන සිටින්නේ බි්‍රතාන්‍යයේ පාලක ලේබර් පක්ෂයේ අගමැතිවරයාය. ලේබර් පක්ෂය සැලකෙන්නේ එරට සිටින සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටින පක්ෂයක් ලෙසටය. ඒ අනුව ඉකුත් යුද සමයේදී සුළු ජාතිකයන් ඉලක්ක කරගෙන සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවට එරෙහි බරපතළ යෝජනාවක් මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වනු ඇති බව පැවසේ. බි්‍රතාන්‍යය ගෙන ඒමට නියමිත මෙම යෝජනාවට බටහිර රටවල් මෙන්ම යුරෝපා රටවල්ද සහාය දැක්වීමට තීන්දු කර ඇති බවක්ද දැකගන්නට ඇත.

ජීඑස්පී ක්ලෝස්ද

මෙහිදී යුරෝපා කොමිසම මුල්කරගෙන තවත් අවදානමක පෙරනිමිති මේ වනවිට පහළ කර තිබේ. ඒ, මෙතෙක් ලංකාවේ ඇඟලුම්වලට යුරෝපා කොමිසම මගින් ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කිරීම සඳහා යුරෝපා රටවල නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණ තිබීමය. ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීම හේතුකොට ගෙන යුරෝපා කොමිසම විසින් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාදීම අත්හිටුවීමට කටයුතු කොට තිබිණි. ඒ හරහා ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දුන් ආකාරයක් දැකගත හැකි විය. නමුත් මානව හිමිකම් තත්ත්වය වර්ධනය කරගැනීමෙන් අනතුරුව යහපාලන ආණ්ඩුව එම ජී.එස්.පී. ප්ලස් සහනය 2017 වසරේදී යළිත් ලංකාවට ලබාගැනීමට කටයුතු කොට තිබිණි.

නමුත් මෙම ජී.එස්.පී. ප්ලස් සහනය යළිත් දීර්ඝ කරගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුව පැත්තෙන් විශේෂ විධිවිධාන කීපයක් ගතයුතුව තිබේ. ඉන් එකක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමය. අනෙක වන්නේ ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කිරීමය. මෙහිදී ආණ්ඩුව විපක්ෂයේ සිටියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පුන පුනා කීවත් බලයට පත්වී මාස 6ක් ගතව තිබියදීත් එය අහෝසි කිරීමට කටයුතු කර නොමැත. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරක් තරුණයකු අත්අඩංගුවට ගැනීමටද ආණ්ඩුව කටයුතු කළේය. එමෙන්ම ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකරයක් ඇලවූ බව කියමින් මුස්ලිම් තරුණයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අතර, පසුව ඊට එල්ලවූ දැඩි විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබිණි.

මීට අමතරව ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට සිදුවේ. ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ බලධාරීන් හමුවේ අභියෝග රැසක් තිබේ. ඉදිරි දින කීපය ඇතුළත මෙම කොන්දේසි සපුරා හෝ යුරෝපා කොමිසමේ බලධාරීන්ට ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාදීමේ විශ්වාසය ඇතිකිරීම ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීමකි. එසේ නොකළහොත් ට්‍රම්ප්ගේ බදු පැනවීමෙන් කබලට වැටී සිටින ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සිදුවන්නේ ජී.එස්.පී. ප්ලස් සහනයත් අහෝසි වුවහොත් ඒ කබලෙන් ළිපට වැටීමටය.

කවද ටීම් එක

කෙසේ වෙතත් මෙහිදී පැනනගින ප්‍රධානම ගැටලුව වන්නේ ආණ්ඩුව මෙම සියලු ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා පත්කරනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳවය. ට්‍රම්ප් තීරුබදු පැනවූ වහා වෙනත් රටවල් නම් මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා ඉතාම ඉහළ මට්ටමේ නියෝජිතයන් කණ්ඩායම් ඇමෙරිකාවට යැවීමට පියවර ගත්හ. ඇතැම් රටවල ජනාධිපතිවරුන්ම ගියේය. තවත් රටවල අගමැතිවරුන්, විදේශ අමාත්‍යවරුන්, වෙළෙඳ අමාත්‍යවරුන් ගියේය. නමුත් අපේ රටේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. පසුගිය මාර්තු 18 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළමු වරට පාර්ලිමේන්තුවේ අනාවරණයක් කරමින් මේ බව සඳහන් කරද්දී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා දැන හෝ නොදැන කියා සිටියේ ඒ සඳහා ටීම් එකක් ලංකාවෙන් යවනවා යැයි කියාය. නමුත් එසේ ටීම් එකක් යැවුවාද, එසේ නම් ඒ කවුරුන්ද, ඔවුන් සාකච්ඡා කළේ මොනවාද යන්න ආණ්ඩුව රටට හෙළිකළ යුතුව ඇත. නමුත් ආණ්ඩුව එසේ නොකළා පමණක් නොව විපක්ෂය හෝ ආණ්ඩුවෙන් එවැන්නක් ප්‍රශ්න නොකිරීම පුදුම සහගතය.

එසේම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සර්වපාක්ෂික පක්ෂ නායක හමුවක් කැඳවූ අවස්ථාවේදී කියා සිටියේ ඉදිරියේදී ලංකාවෙන් වොෂිංටනයට කණ්ඩායමක් යැවීමට සැලසුම් කොට ඇතැයි කියාය. නමුත් ගැටලුව වී ඇත්තේ එම කණ්ඩායම නියෝජනය කරන්නේ කවුරුන්දැයි කියාය. මෙම කණ්ඩායමට විදේශ ඇමැති විජිත හෝ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සිටිනවාද, එසේත් නැත්නම් ව්‍යාපාරිකයන් කණ්ඩායමක් සිටිනවාද යන්න තවමත් පැහැදිලි නැත. මෙම කණ්ඩායම රටක් නියෝජනය කරමින්, සමස්ත රටේ අනාගතය තම කර මත තබාගෙන යන පිරිසක් නිසා, ව්‍යාපාරිකයක් පමණක් ඊට නම්කරනවා නම් ආණ්ඩුව ඉතා පරිස්සම්සහගත විය යුතුය. මන්ද යත් ව්‍යාපාරිකයන් කරන්නේ තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරගැනීමට සහ තමන්ගේ කෝටාව වැඩිකර ගැනීමට කටයුතු කිරීම පමණි. ඒ අනුව ආණ්ඩුව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට රටට ගැළපෙන ආකාරයේ කණ්ඩායමක් මේ සඳහා තෝරාගත යුතුය. විපක්ෂයේ නියෝජිතයන් පවා ඊට ඇතුළත් වනවා නම් එහි වටිනාකම තවත් වැඩිය.

ජනපතිට බලපෑමක්

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් කැඳවූ මෙම සර්වපාක්ෂික පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන්ද විශේෂ තොරතුරක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී තිබේ. මුලින්ම ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නය පැනනැගුණු අවස්ථාවේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස පාර්ලිමේන්තුවේදී යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. දිගින් දිගටම ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් එද්දී සහ රට තුළ මතුවෙමින් පැවැති තත්ත්වය හේතුකොට ගෙන ජනාධිපතිවරයාද ඊට එකඟතාව පළකළ ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් ජනාධිපතිවරයාගේ එම තීන්දුවට ජවිපෙ තුළ නම් එතරම් කැමැත්තක් තිබුණේ නැත. මේ හරහා ජනාධිපතිවරයාට යම් අගතියක් සිදුවන බව ජවිපෙ ස්ථාවරය වී තිබිණ.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට නියමිතව තිබූ දිනයේ අලුයම ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම මාස තුනක කාලයකට අත්හිටුවීමට පියවර ගැනීම නිසා පක්ෂයෙන් ජනාධිපතිවරයාට දැඩිව කියා තිබුණේ වහාම සර්ව පාක්ෂික සමුළුව අවලංගු කරන ලෙසටය. ඊට හේතු වශයෙන් පක්ෂයෙන් පෙන්වා දී තිබුණේ පසුගිය 76 වසරක සාපයක් කියමින් බලය ගත් මාලිමාව ප්‍රශ්නයක් පැනනැගුණු වහා ඊට විසඳුම් සෙවීමට, චෝදනා කළ පිරිසටම ආරාධනා කිරීම ජනාධිපතිවරයාට ඍණාත්මක ලෙස බලපානවා යැයි කියාය. මීට අමතරව මන්ත්‍රීවරුන් 159ක බලයක් සහිත ආණ්ඩුවක් මේ ආකාරයට විපක්ෂයේ පිහිට පැතීම ආණ්ඩුවේ අනාගතයට සුබදායක නොවන බවද පක්ෂයේ ස්ථාවරය වී තිබිණි.

මෙසේ පක්ෂයෙන් ආ දැඩි බලපෑම හේතුකොට ගෙන ජනාධිපතිවරයාද එදින පෙරවරුවේ සිටම මෙම පක්ෂ නායක රැස්වීම අවලංගු කළ හැකිද යන්න සොයා බැලීමක නිරත විය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ඊට සියලුම පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවකි. ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයාට සිදුවූයේ අකැමැත්තෙන් හෝ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමටය. සාකච්ඡාවට විපක්ෂයේ සියලු නියෝජිතයන් සහභාගි වීම නිසා රට ඇතුළෙන්ද ඊට ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබුණු බවක් දැකගන්නට හැකි විය. නමුත් දැන් ගැටලුව වී ඇත්තේ දැනට මතුව ඇති තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට එම පක්ෂ නායක සමුළුව දිගටම පවත්වාගෙනන යෑමට හැකිදැයි කියාය.

පැලවත්තේ කලබල

මෙවැනි පසුබිමක් යටතේ මේ දිනවල මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මුල්කරගෙන පැලවත්තේ ඉතා උණුසුම් තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මුලින් නම් මෙවර පළාත් පාලන මැතිවරණය අත උඩින් ජයගත හැකි බවට ජවිපෙ පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලය සිතා සිටියද, ගෙවුණු මාස කීපයේ සිදුවූ යම් යම් සිදුවීම් හේතුකොට ගෙන ඔවුන්ද නොසිතූ පරිදි ඡන්ද සටන මේ වනවිට උණුසුම් වී ඇති බවක් ඔවුන්ටද වැටහී ඇත. ඒ අනුව ජවිපෙ මේ වනවිට තීන්දු කොට ඇත්තේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් ලෙස සලකා ජාතික තලයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට අවසන් සති කීපයේදී දියත් කිරීමටය. විශේෂයෙන්ම මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවලින් ආණ්ඩුව සහ ජවිපෙ ඉලක්ක කොට ගෙන විශාල ප්‍රහාරයක් එල්ල වෙමින් පැවැතීම නිසා ගමේ සිය ජාලය හරහා දිනපතා මැතිවරණය සම්බන්ධයෙන් මත විමසුම් ප්‍රතිඵල ලබාගැනීමට ජවිපෙ කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත. ලැබිය හැකි ප්‍රතිඵල සම්බන්ධයෙන් සහ වාසිදායක පළාත් පාලන ආයතන සහ අවාසිදායක පළාත් පාලන ආයතන පිළිබඳ සියලු විස්තර පක්ෂ මූලස්ථානයට ලබාගැනීමටද ඔවුන් කටයුතු කර ඇති බවක් වාර්තා වේ.

මීට අමතරව මෙම පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ 50%ක ඡන්ද ප්‍රතිශතයකට යෑම ජවිපෙ ආරම්භයේ සිටම තිබූ විශාල ඉලක්කයකි. ඉකුත් ජනාධිපතිවරණයේදී ජවිපෙට ලබාගත හැකි වූයේ 43%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. නමුත් ඔවුන් මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට සමත් විය. නමුත් මේ වනවිට ආණ්ඩුවට මාස හයක කාලයක් ගතව ඇති නිසා රට ඇතුළේ ගොඩනැගුණු මතයකින් කියැවුණේ ආණ්ඩුව තවදුරටත් සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේදී 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුව ඇතැයි කියාය. ජවිපෙද මුල් කාලයේදී එය අභියෝගයක් ලෙස භාරගත් ආකාරයක් දැකගන්නට තිබිණි.

කෙසේ වෙතත් එය පහසු ඉලක්කයක් ලෙස මුල් අවධියේදී පෙනීගිය නිසා ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්කර ගැනීමට ජවිපෙ සැලසුම් කර තිබුණේ නැත. නමුත් දැන් දැන් එය අසීරු ඉලක්කයක් බවට පත්වෙමින් ඇති නිසා ජනාධිපතිවරයාද ප්‍රචාරක ව්‍යාපාරයට එක්කර ගැනීමට ජවිපෙ කටයුතු කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා මේ දිනවල සිය සුපුරුදු භාෂා ශෛලිය උපයෝගී කරගනිමින් දිස්ත්‍රික්කයක් පාසා යමින් ජාතික මැතිවරණයකදී මෙන් ජනතාව ආමන්ත්‍රණය කරන ආකාරයක් දැකගත හැකිය.

කෝ තරුණයෝ කාන්තාවෝ?

මීට අමතරව මෙවර ජවිපෙ ප්‍රචාරක ව්‍යාපාරයේදී තවත් විශේෂ සිදුවීමක්ද දැකගන්නට තිබේ. ඒ, ගමේ ජවිපෙ සාමාජිකයන් පමණක්ම ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරත වීමය. ඉකුත් ජනාධිපතිවරණයේදී පමණක් නොව මහ මැතිවරණයේදී පවා කාන්තාවන්, තරුණයන් විශාල වශයෙන් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරත වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, ඔවුන් මාලිමාව වශයෙන් එක්ව කටයුතු කිරීම නිසාය. නමුත් මේ වනවිට ජවිපෙ සහ මාලිමාව අතර බරපතළ දේශපාලන මතගැටුම් මතුව තිබීම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මාලිමා මුහුණු කිසිවක් දැකගැනීමට නැත. සිටින්නේ ගමේ සිටින උග්‍ර ජේ.වී.පී. කිහිප දෙනා පමණි.

එසේ නම් මීට මාස හයකට පෙර ජවිපෙත් සමග සිටි මාලිමා කාන්තාවන්ට, තරුණයන්ට සිදුවූයේ කුමක්ද?

මේ ආකාරයට ජවිපෙ සහ මාලිමාව අතර මත ගැටුමක් මතුවෙමින් තිබෙන බවක් මුලින්ම රටට හෙළි කළේ ‘රාජ්‍ය රහස්’ තීරයය. ජනාධිපතිවරයා බලයට පත්වී සති තුනක් යද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ විශේෂ අනාවරණයකින් කියැවුණේ යම් යම් සිදුවීම් මුල්කරගෙන මාලිමාව සහ ජවිපෙ අතර ගැටුම් ඇතිවීම ආරම්භ වී ඇතැයි කියාය. මාලිමාව හලා ජවිපෙ බලය අතට ගැනීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. එහි කූටප්‍රාප්තිය ලෙස අප සඳහන් කළේ මෙවර කොළඹ මහ නගර සභාවට මාලිමා නගරාධිපති අපේක්ෂකයා නම්කරන සිදුවීමය. මෙහිදී කොළඹ මාලිමා ප්‍රධානියා වශයෙන් අගමැති හරිනි ඊට උගත් බුද්ධිමත් රටම පිළිගත් චරිතයක් ගෙන ඒම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියදී ජවිපෙ හිටි හැටියේම කිසිදු දේශපාලන පසුබිමක් නොමැති සහ ඉකුත් මහමැතිවරණයෙන් පරාජයට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පත්කිරීමට පියවර ගත්තේය. මේ හේතුවෙන් හරිනි කොළඹ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට හෝ කොළඹ නගර සභාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගි වී සිටින ආකාරයක් වැඩිපුර දැකගන්නට ලැබුණේ නැත.

ජවිපෙන් ආ නියෝගය

එමෙන්ම වරක් මාධ්‍ය හරිනිගෙන් ජවිපෙ සහ මාලිමාව පිළිබඳ ප්‍රශ්න කරද්දී ඇය කෙළින්ම කියා සිටියේ තමන් මාලිමා සාමාජිකයෙක් මිස ජවිපෙ සාමාජිකයෙක් නොවේ යැයි කියාය. හරිනි මෙන්ම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරද වරක් ප්‍රසිද්ධියේම කියා සිටියේ අප ජවිපෙ සාමාජිකයන් නොව, මාලිමා සාමාජිකයන් යැයි කියාය. මේ නිසාම වරක් පැලවත්තෙන් සියලුම මැති ඇමැතිවරුන්ට ලැබුණු නියෝගයකින් කියැවුණේ මෙවැනි ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන ලෙසත්, ජවිපෙ සාමාජිකයන් යැයි කීමට නොහැකි නම් වෙනත් පිළිතුරක් ඊට ලබාදෙන ලෙසත්ය. නමුත් පැලවත්තෙන් ලැබුණු එම නියෝගය ඔවුන් පිළිගත් ආකාරයක් හෝ ඊට අනුගත වී ඇති ආකාරයක් තවමත් දැකගන්නට නැත. මාලිමාවේ නියෝජිතයන් කියන්නේ ජවිපෙට ආණ්ඩු බලය ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිරූපය සකස් වූයේ මාලිමාවෙන් නිසා වැඩි අයිතියක් හිමිවිය යුත්තේ මාලිමාවට යැයි කියාය. මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලද්දී පවා පාර්ලිමේන්තුවේ 159 දෙනාගෙන් ජවිපෙ මන්ත්‍රීවරුන් සිටින්නේ 60ක් පමණි. අනෙක් සියලු මන්ත්‍රීවරුන් මාලිමාව නියෝජනය කරමින් පැමිණි අයය. මේ නිසා මාලිමා මන්ත්‍රීවරුන් මේ වනවිට පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල සක්‍රීය ලෙස නිරතව සිටින්නේද යන්න පිළිබඳ විශාල සැකයක් බොහෝ දෙනා තුළ මතුව තිබේ. පැලවත්තේ නියෝජිතයන් කලබල වී වහ වහා ජනාධිපතිවරයා එළියට දැමීමට පියවර ගත්තේ මේ නිසා විය යුතුය.

ආන්දෝලනාත්මක කතාවක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් සැකයක් මතුවීමත් සමග ජනාධිපතිවරයාද ඒ ගැන වැඩි අවධානයක් යොමුකට ඇති ප්‍රකාශ කීපයක්ම ඉකුත් දිනවල පැවැති ප්‍රචාරක රැස්වීම්වලදී දැකගන්නට ලැබිණි. ඉන් ප්‍රධානම එකක් වූයේ මාලිමාව පරාජයට පත්වන කිසිදු පළාත් පාලන ආයතනයකට මුදල් නිදහස් නොකරන බවට ඇඟවෙන ප්‍රකාශ කීපයක්ම ජනාධිපතිවරයා අතින් ප්‍රකාශ වීමය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂයේ නියෝජිතයන් පමණක් නොව, මැතිවරණ නිරීක්ෂකයන් පවා වහාම මැතිවරණ කොමිසමට පැමිණිලි කරමින් කියා සිටියේ මෙය ඡන්දදායකයන්ට සිදුකරන අනියම් ආකාරයේ තර්ජනයක් බවත්, එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත්ය. එබැවින් ජනාධිපතිවරයාට එවැනි ප්‍රකාශ නිකුත් නොකරන ලෙස දැනුම් දෙන ලෙසටද ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි.

එවැනි පසුබිමක් පැවැතියදී පසුගිය බ්‍රහස්පතින්දා මුද්‍රිත මාධ්‍ය මගින් වාර්තා කොට තිබූ පුවතක් වූයේ එවැනි ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස කියමින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇති බවකි.

කෙසේ වෙතත් එදිනම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කොට තිබුණේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, මැතිවරණය කොමිසම එවැනි ලිපියක් ජනාධිපති ලේකම්වරයාට යොමුකර නැති බවත්ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවැනි නිවේදනයක් නිකුත් කළද මැතිවරණ කොමිසම හෝ ජනාධිපති මාධ්‍ය ඒකකය හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් නොකිරීම විශේෂ සිදුවීමකි.

කෙසේ වෙතත් ඊට පසු දිනම අදාළ පුවත්පත මෙම පුවත ප්‍රතික්ෂේප කරමින් සිය මුල් පිටුවේම පුවතක් පළකිරීමට පියවර ගෙන තිබිණි. එම පුවතේ සඳහන්ව තිබුණේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු එය පැමිණිලි අංශයෙන් විමසන ලෙස කියා සිටි බවත්, පසුව එම අංශයෙන් විමසීමේදී එම අංශයේ ප්‍රකාශයකු ජනාධිපතිවරයාට අදාළ දැනුම් දීම සිදුකරන ලෙසට, ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමට පියවර ගත් බවත්ය. ඒ අනුව මැතිවරණ කොමිසමේ දෙබිඩි ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කිරීමටද අදාළ පුවත්පත කටයුතු කොට තිබිණි.
එසේ තිබියදී ජනාධිපතිවරයා නැවත වතාවක් බ්‍රහස්පතින්දා දිනයේදීම මන්නාරමේ රැස්වීමකට සහභාගි වී යළිත් එම ප්‍රකාශයම සිදුකරමින් කියා සිටියේ පරාජයට පත්වන පළාත් පාලන ආයතනවලට හොරකම් කිරීම සඳහා මුදල් ලබා දීමට පියවර නොගන්නා බවය. ඒ අනුව ඒ සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසමට යළිත් වතාවක් දිගින් දිගටම පැමිණිලි ලැබීමත් සමග කොමිසම තීන්දු කළේ ලබන 21 වැනිදා රැස්වී ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටය.

නැගෙනහිර කවුරුත් නෑ

ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ දිනවල සිටින්නේ කොට්ඨාස මට්ටමින් පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වෙමිනි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දින ජනාධිපතිවරයා මන්නාරමේ සිටිද්දී සජිත් සිටියේ නැගෙනහිර පොතුවිල්වලය. සිය නැගෙනහිර සංචාරයේදී සජබ අපේක්ෂකයන් සමග කතාබස් කරමින් සිටින අතරවාරයේ සජිත් එජාපයෙන් එම පළාත්වලට පත්කොට ඇති අපේක්ෂකයන් පිළිබඳවත්, එජාපයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. එහිදී ඔවුන් ලබාදුන් පිළිතුරුවලින් සජිත් උඩ ගොස් බිම වැටුණි. ඔවුන් කියා සිටියේ නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන එකක දෙකක හැරුණු විට අනෙක් කිසිදු තැනක එජාපය නාමයෝජනා ලබාදී නොමැති බවකි. ඊට හේතු වශයෙන් ඔවුන් සජිත්ට පෙන්වා දී තිබුණේ අපේක්ෂකයන් සොයාගැනීමේ නොහැකියාව නිසා එලෙස එජාපයට නාමයෝජනා දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවකි.

මෙම පිළිතුරත් සමග සජිත් කළේ නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකටම කතාකොට ඒ තැන්වලද තත්ත්වය සොයා බැලීමය. එහිදී ඔවුන්ද කියා සිටියේ සිය ගම්වල කිසිදු තැනක එජාපය නාමයෝජනා ලබාදී නොමැති බවකි. එම තහවුරු කරගැනීමෙන් අනතුරුව අපේක්ෂකයන් සමග රැස්වීම්වලින් පසුව කතාබහ කරමින් සිටියදී සජිත් ඔවුන්ට අපූරු රහසක් හෙළි කළේය. ඒ, මැතිවරණයට පෙර එජාප-සජබ එකතු වීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා පිළිබඳවය.

‘මම දැන්නේ දන්නේ යූ.ඇන්.පී. එක මේ පැත්තේ කිසිම තැනකට නාමයෝජනාවක් දීලා නෑ, ඒගොල්ලන්ට අපේක්ෂකයෙක්වත් හොයාගන්න බැරිවෙලා කියලා. හැබැයි ඡන්දෙට ඉස්සෙල්ලා මේ අය අපිත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරද්දී අපිට අපේක්ෂකයෝ මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා ලොකු කතා කියලා තිබ්බා. හැබැයි අන්තිමේදී තනියෙන් ඉල්ලන්න ගියාම අපේක්ෂකයෙක්වත් දාගන්න බැරි තැනට අද යූ.ඇන්.පී. එක වැටිලා. ඔන්න පක්ෂයකට වෙලා තියෙන දෙයක්….’ යන්න සජිත් සජබ අපේක්ෂකයන්ට කී කතාව විය.

පෝලිම පනින්න බෑ

මේ අතර පසුගිය සිකුරාදා දින දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙරාතුව සජිත් මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට ගියේය. මෙහිදී මහානාහිමිවරුන් මුණගැසීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ අනුනාහිමියන්ද හමුවී සාකච්ඡා කිරීමට සජිත් පියවර ගත්තේය. මෙම සාකච්ඡාවේදී මල්වතු අනුනාහිමියන් සජිත්ට දැනුම් දී සිටියේ සජිත්ගේ පියාණන් වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දළදා මාලිගාවේ රන් වියන ඉදිකිරීමට කටයුතු කළ බවත්, ඒ හේතුව නිසා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමේ අයිතියක් සජිත්ටත් ඇති බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය වෙනමම පැමිණ දළදා හිමි වැඳපුදා ගැනීමට කටයුතු යොදා ඇති බව කී මල්වතු අනුනාහිමියෝ සජිත්ටද ඒ ආකාරයට ගොස් දළදා හිමියන් වැඳපුදා ගන්නා ලෙස දැනුම් දීමක්ද කළහ.

නමුත් මෙහිදී සජිත් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අමුතුම කතාවකි.

‘මම කොහොමද හාමුදුරුවනේ එහෙම කරන්නේ. මම එද්දී දැක්කා මිනිස්සු දවස් දෙක තුන පෝලිමේ වාඩිවෙලා ඉන්නවා. ඉතින් එහෙම තියෙද්දී මට පුළුවන්ද මුලින්ම ගිහිල්ලා දළදා වහන්සේ වැඳපුදා ගන්න? ඒක හරි නෑ නේද නායක හාමුදුරුවනේ…?’ යනුවෙන් එහිදී සජිත් කියා සිටිනු දැකගත හැකි විය.

කෙසේ වෙතත් මෙවර දළදා ප්‍රදර්ශනය ආරම්භ වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඊට සහභාගි වීම සඳහා කොළඹ සිට මහනුවරට අතිවිශේෂ දුම්රියක් ධාවනය කරවීමටද ආණ්ඩුව කටයුතු කර තිබිණි. එදින පෙරවරුවේ ජනාධිපතිවරයාට මෙන්ම කැබිනට් ඇමැතිවරුන්ටද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු යොදා තිබිණි.

මෙහිදී සිකුරාදා (18) පෙරවරුවේ තවත් විශේෂ සිදුවීමක්ද සිදුවිය. ඒ, දළදා ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ බව හැඟවෙන ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍යයේ සැරිසැරීමට පටන්ගෙන තිබීමය. ඊට සමාජ මාධ්‍යයේ විශාල ප්‍රසිද්ධියක් හිමිවීමත් සමග වහාම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ එය ව්‍යාජ ලෙස කිසියම් පිරිසක් විසින් සැකසූවක් බවත්, එවැනි ආරාධනා පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කොට නැති බවත්ය.

නපිල පුංචිමාන්නගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here