සංගීත ප්‍රසංගයේ කාලය දීර්ඝ නොකළේ යැයි උරණ වූ පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් පහර දෙයි

0
17


හෝමාගම, පිටිපන, කිරිබෙරියකැලේ, මහින්ද මාවතේ ඊයේ රාත්‍රි පැවැති සංගීත ප්‍රසංගයේ කාලය දීර්ඝ නොකළේ යැයි උරණ වූ පිරිසක් එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් පහර දීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

අදාළ සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා හෝමාගම පොලිසිය විසින් අවසර ලබා දී තිබුණේ රාත්‍රි 11 දක්වායි. 

එම ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණ යොදවා තිබෙනවා. 

ඔවුන් රාත්‍රි 11ට සංගීත ප්‍රසංගය නතර කරන ලෙසට සංවිධායක මණ්ඩලයට දැනුම් දී ඇති අතර ඒ අනුව සංවිධායක මණ්ඩලය විසින් නියමිත වේලාවට සංගීත ප්‍රසංගය නතර කර තිබියදී  එම ස්ථානයේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන්  ඉදිරියේ කළහකාරි ලෙස  හැසිරී ඇති බවයි වාර්තා වුණේ. 

එහිදී එම පිරිස පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

එම අවස්ථාවේ  පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිය යතුරු පැදි වලින් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.  

සෙසු පොලිස් නිලධාරීන් මාර්ගයේ දිව යන විට කළහකාරිව හැසිරුණු පිරිස පොලිස් නිලධාරීන්  පසුපස හඹා ගෙන ගොස් පහර දී තිබෙනවා. 

සංවිධායක මණ්ඩලයේ මැදිහත්වීමෙන් කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කර ඇති බවයි වාර්තා වුණේ. 

සිද්ධිය සැල වීමත් සමඟ හෝමාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබෙනවා. 

පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාර එල්ල කළ සැකකරුවන් කිහිප දෙනෙකු මේ වනවිට හඳුනා ගෙන ඇති අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම පොලිසිය පැවසුවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here