දෙදින නිල සංචාරයකට ඉන්දීය උප ජනාධිපති දිවයිනට

0
4

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) පෙරවරුවේ දිවයිනට ළඟා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගනු ලැබීය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදු වූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සමග අද (19) දිනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට නියමිත ඉන්දීය උප ජනාධිපතිවරයා, වැල්ලවත්ත කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමටද අපේක්ෂිත බව වාර්තා වේ.

මෙම නිල සංචාරයේ දෙවන දිනය වන හෙට (20) ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වනු ඇති අතර, එහිදී මලෛයගම් ප්‍රජාව හමුවීමට සැලසුම් කර ඇත.

නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here