සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්… බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාවට විශේෂ තැනක්…

0
10


සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව සේවයේ යොදවා තිබේ.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ මෙහෙයවීම මත මහනුවර මහනගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය මත මෙම සියලු කටයුතු සිදුවේ.
නගරයේ සියලුම ආහාර පරිහරණ ස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂා කරන අතර ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කෙරේ.
මෙම කාලය තුළ පවත්වනු ලබන සියලුම ආකාරයේ දන්සල් මහනුවර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එම සියලුම දන්සල් සහ වීදි ආහාර සපයන ස්ථාන නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක් කෙරේ.
මහනුවර නගරය පිරිසිදුව සහ අලංකාරව තබාගැනීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ විධිමත් කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස හා කසළ නිසි තැන්වලට බැහැර කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
බැතිමතුන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ජංගම වැසිකිලි 150ක් ස්ථාපිත කර ඇති අතර ඒවායේ අපද්‍රව්‍ය බැහැරලීම නාගරික අපජල ව්‍යාපෘතිය හරහා සිදු කෙරේ.
බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා විධිමත් ජල සැපයුමක් පැය 24 පුරා ක්‍රියාත්මක අතර එම ජලයේ සුරක්ෂිතතාවය සෑම පැයකට වරක්ම පරීක්ෂා කෙරේ.
ආරක්ෂක අංශ සාමාජිකයන් නවාතැන් ගන්නා ස්ථානවල සනීපාරක්ෂක කටයුතු, ආහාර සැපයුම, බෝවන රෝග මර්ධනය පිළිබදවඳ නිරන්තර අධීක්ෂණය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය කණ්ඩායම් යොදවා තිබේ.
එමෙන්ම “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද (17) සිට සීමා කෙරෙන බවයි පොලීසිය සඳහන් කරයි.
සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබේ.
මේ අතර සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහාද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කර ඇත.
“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30සිට ආරම්භ වේ. එය එදින පස්වරු 5.30න් අවසන් වන අතර 19 වනදා සිට 27 දක්වා දහවල් 12.00 සිටි පස්වරු 05.30 දක්වා පැවැත්වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here