ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.
නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන ‘TankerTrackers’ ආයතනය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර සමුද්‍රීය හදිසි ඇමතුම් නාලිකාවක් වන Channel 16 ඔස්සේ ලැබුණු පටිගත කිරීම් දෙකක් මගින් මෙම තොරතුරු තහවුරු කරගත් බවයි.
මෙම සිදුවීමේදී වෙඩි තැබීම් ද සිදුව ඇති බව වාර්තා වේ.
ඉන් එක් නෞකාවක් ඉරාක බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් ඉන්දීය ධජය සහිත අතිවිශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් බවද පැවසේ.
අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට එරෙහිව හෝමූස් සමුද්‍ර සන්ධිය යළිත් ඉරාන සන්නද්ධ හමුදාවල පාලනය යටතට ගෙන ඇති බව විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබුණි.
පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද ප්‍රහාර එල්ල කළේය.
පසුව පාකිස්තානයේ මැදිහත්වීමෙන් අප්‍රේල් 8 වෙනිදා සිට සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගිය සිකුරාදා ප්‍රකාශ කර තිබුණේ ලෙබනනයේ සටන් විරාමයට සමගාමීව හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකා සඳහා විවෘතව පවතින බවය.
එසේ තිබියදී මෙම නවතම ගැටුම වාර්තා වීම කලාපීය ආරක්ෂාව පිළිබඳ යළිත් සැක මතු කර තිබේ.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාම සාකච්ඡා මේ වන විටත් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට උත්සාහ කරමින් පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වී ඇත.
Saru News












