අන්තර්ජාලය ඔස්සේ අධික පොලී මත ක්ෂණික ණය දෙන ආයතන විසින් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු දත්ත සයිබර් අපරාධකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ණය මුදල් ගෙවීම පැහැර හැර තිබෙන පුද්ගලයන්ගේ දත්ත අදාළ ආයතන විසින් නයිජීරියානු, චීන සයිබර් අපරාධකරුවන් වෙත ලබාදී තිබෙන බවට අනාවරණය වූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විමර්ශන ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ සංචාරක වීසා මත රැඳී සිටින සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැකපිට මෑත කාලයේදී චීන, නයිජීරියානු, වියට්නාම ජාතිකයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරුවන් සමග පොලිස් භාරයට ගෙන තිබූ නවීන පරිගණක, ජංගම දුරකථන ඇතුළු තාක්ෂණික උපකරණවල දත්ත පරීක්ෂා කිරීමේදී, මෙරට පුද්ගලයන් රැසකගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු දත්ත තිබෙන බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් විස්තර ඇතුළු දත්ත සයිබර් අපරාධකරුවන් වෙත ලබාදී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ අධික පොලී මත ක්ෂණික ණය ලබාදෙන ආයතන මගින් බව අනාවරණය වී ඇති හෙයින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
මේ ණය ප්‍රවර්ධනය කිරීමට මෙරට ජනප්‍රිය නළු නිළියන් ද පෙනී සිට ඇති බව මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබේ.
සබැඳි පුවත්
Saru News












