‘අලුත් දේශපාලනයට හැඩගැහෙන්න: නැත්නම් දාල යන්න’
දවසේ වෙඩිල්ල ඉක්මනින්ම අවසන් කරනවා
ජනපති කඩවතදී හා කොළොන්නාවේදී කියයි
ජනපති ඊයේ චීන තානාපති සමග කඩවතදී
මතුපිටින් පෙනෙන රාජ්‍යය හා සමාන යටිබිම්ගත රාජ්‍යයක් ද ක්‍රියාත්මක වන බවත් තැන තැන වෙඩි තැබීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී සංවිධානාත්මක අපරාධවලින් සමන්විත එම යටිබිම්ගත රාජ්‍යය ස්ථිර වශයෙන්ම අවසන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17දා) පැවසීය.
“අපිට මතුපටින් පෙනෙන රාජ්‍යය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා නීත්‍යනුකූල හමුදාවෙන්, කුඩු ප්‍රවාහනය කරනවා, ඒවා මැඬපැවැත්වීමට ඉන්න පොලිසිය ඔවුන්ට රැකවරණය දෙනවා. දේශපාලන අධිකාරිය නීති විරෝධීව පාස්පෝට් හදල දෙනවා, නීත්‍යනුකූලව පාස්පෝට් හදලා දෙන්න තියෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින්. මෝටර්රථ ලියාපදිංචි කරලා දෙනවා මෝටර්රථ ලියාපදිංචියට තිබෙන ආයතන විසින් ඔවුන්ට නීතියේ රැකවරණයත් ලබා දෙනවා.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජයේ විශාල ව්‍යසනයක් ඇති කරලා තියෙනවා. එය මැඬපැවැත්වීමට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය අභියෝගය හා විශ්වාසය පොලිසිය භාරගෙන තිබෙනවා.
පරණ ඇබ්බැහිවලට ලොල් වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පුද්ගලයන් හා සමහර තැන් අපි හඳුනාගෙන තිබෙනවා. අපි නැවත නැවත කියන්නේ අලුත් දේශපාලනයට අනුව හැඩගැහෙන්න කියලා. එසේ නොමැති නම් ඔවුන්ට දාලා යන්න පුළුවන්. දාලා යන්නේ නැත්නම් ඔවුන්ව අපි අයින් කරනවා.
මහජනයාගේ සෑම රුපියලකටම ගරු කරන සාංඝික දේපොළක් වගේ ආරක්‍ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි යැයි ද ජනාධිපතිවරයා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් කීවේය.
මේ අතර කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් තෙල් ටැංකි 6ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවට ද ඊයේ (17දා) එක්වෙමින් ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
විදුලිබල මණ්ඩලය ඉතාමත් වැදගත් ආයතනයක්. සේවකයන් 26,000කට ආසන්න පිරිසක් ඉන්නවා. කොතන ද අර්බුදය තියෙන්නේ කියලා තෝරගන්න බැරිතරමට ප්‍රශ්න තියෙනවා. එක එක අය එක එක තැනට ඇඟිල්ල දික්කරනවා. අර්බුදයට අයිතිකාරයෙක් නැහැ. ඒවා විසඳන්න එක එක අය විවිධ යෝජනා කරලා තිබුණා. සමහරු පෞද්ගලීකරණය කරන්න යෝජනා කරලා තිබුණා. අපි ඇවිත් ඒ පරණ යෝජනා වෙනස් කළා. පරණ එක වෙනස් කරපු එක අපරාධයක්ද? පරණ එක වෙනස් කරපු නිසා තමයි සේවක මහත්වරුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර තිබෙන්නේ. දැන් අකුරට වැඩ කරනවා. ලෙඩ නිවාඩු දානවා. මෙහෙම වැඩ කරන්න බැහැ.
කමල් බෝගොඩ
Saru FM Media