කෙටිකතාව දියුණු සාහිත්‍යාංගයක් වීමට පෙර කෙටිකතා ස්වරූපයෙන් මුල් කාලයේදී වැඩි වශයෙන් රචනා වී ඇත්තේ විත්ති කතාය. වර්ෂ 1842දී පමණ එඩ්ගා ඇලන්පෝ නම් කෘතහස්ත ලේඛකයා විසින් නැකෑනියෙල් හෝකෝන් නම් ලේඛකයකුගේ ‘දෙවරක් කී කතා’ නමැති කතා සංග්‍රහය විමර්ශනය කොට කෙටිකතාව යනු කුමක් දැයි නිර්වචනය කිරීමට පෙර ලෝක සාහිත්‍යයේ ද වැඩි වශයෙන් පළ වී ඇත්තේ විත්ති කතාය. ‘විත්ති කතා’ යනු යම් පුද්ගලයකු අත්විඳි සමාජමය වැදගත්කමක් ඇති අත්දැකීමක් වෘත්තාන්ත කථනයට නඟා යම්බඳු උපහැරණයක්, අවවාදයක්, ඉදිරි ජීවිතයට වැදගත්කමක්, ආදර්ශයක් මතුකරන ආකාරයේ සිද්ධි කථනයකි. එය එක් අතකින් ජීවිතාදර්ශයකි. හාස්‍යෝත්පාදන කථනයකි. සමාජෝපහාසයකි. මෙබඳු කතා කියවන පාඨකයාට යම් සරල වින්දනයක් උකහා ගැනීමට පුළුවන. විනෝදාස්වාදයක් විඳිය හැකිය. සිය ජීවිතය මෙහෙයවීමට උපකාර වන ආදර්ශ පාඨයක් වීමට පුළුවන. ආප්තෝපදේශයක් ලෙස ද සැලකිය හැකිය.
විත්ති කතා තොරතුරු සංග්‍රහයක් ලෙස ද කෙනකුට පෙනෙන්නට පුළුවන. ඒ හැම දෙයකින්ම ජීවිතාවබෝධය පුළුල්කර ගැනීමට අවකාශය සැලසේ. විත්ති කතාවකින් කියවෙන දෙය තම ජීවිතය හැසිරවීමට උපකාර වන මං පෙතක් කර
ගැනීමට ද පුළුවන. ප්‍රාථමික අවධියේදී මෙබඳු කතා වැඩි වශයෙන් සම්පාදනය කිරීමට ලේඛකයන් පෙළඹෙන්නට ඇත්තේ පුරවැසියන්ට සමාජාවබෝධය ලබාදීම සඳහාය. ජීවන අරුතක් එමගින් මතුකොට දැක්වීමේ අධ්‍යාසයද තිබෙන්නට ඇත. පුරවැසි ප්‍රජාවගේ දැනුම ප්‍රසාරණය කරන අතරම කටයුතු නොකටයුතු දෑ කවරේ දැයි පෙන්වා දීම ද අභිමතාර්ථයක් වන්නට ඇත.
දැනුම උකහා ගැනීමට මාර්ගෝපදේශයක් වන හෙයින් විත්ති කතා සාහිත්‍යාංගයක් ලෙස සැලකීමේ වරදක් දැකිය නොහැකිය. ඉන් වින්දනයක් – ආස්වාදයක් ලද හැකි නිසාය. විත්ති කතාවලට ආවේණික ලක්‍ෂණ මෙසේ දැක්විය හැකිය.
● මිනිසා, සමාජය හා පරිසරය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන අයුරින් තොරතුරු විවරණය කිරීම බොහෝ විට කිසියම් එක් තොරතුරක් කේන්ද්‍රකොට ගත් විස්තර කථනයක් ඉදිරිපත් කරයි. එමගින් අප්‍රකට යම් යම් කරුණු විශද කිරීමට ලේඛකයාට අවකාශය සැලසේ.
● එම කථනය හුදු වාර්තාවක් ඉක්මවා ගිය රසෝද්පාදන ශක්‍යතාවෙන් යුක්ත වීම.
● හාස්‍යය හා උපහාසය මුසුවුණු සියුම් සරදම් සහයක බවක් ප්‍රකට වීම.
● එමගින් සියුම් සමාජ විවේචනයක් විද්‍යාමාන වීම.
● මිනිස් චිත්තාභ්‍යන්තරයෙහි පවතින දුර්වල හා ගූඪ සිතුම් පැතුම් හඳුනා ගැනීමට රසිකයා යොමුකරවීම හා ඒවා දෙස සානුකම්පිත සංවේදනයෙන් යුතුව බැලීමට සහෘදයාට මගපෙන්වීමක් කරනු ලැබීම.
● හරවත් කතා රසයක් විඳ ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසීම.
● පොතපතින් ගත් කරුණුවලට වඩා ලේඛකයාගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් ගොඩනගාගත් කථනයක් වීම.
● කෙටි කෙටිකතා හෝ කෙටි කතා ආකෘතියට බොහෝ දුරට සමීපස්ථභාවයක් දක්වන කතා ආකෘතියක් ප්‍රකට වීම. ආකෘතිමය විවිධත්වයක් විද්‍යාමාන විය හැකිය.
● නිර්මාණාත්මක බස හා වාර්තා බස අතර මිශ්‍රණයක් දැකිය හැකි වීම.
● අවසාන වශයෙන් සමාජ ශෝධනයක් සිදු කිරීම.
● පුද්ගල චරිත ඇසුරින් මනුෂ්‍යත්වයෙහි ඇතැම් දුබලකම්වලට ඇනුම්පද කීම.
විත්ති කතාවද සාහිත්‍යාංගයකි. එමගින් ද යම්බඳු සමාජ හෝ ජීවිත විවරණයක් සිදු නොකෙරේ යැයි පැවසිය නොහැකිය. සිංහල කෙටිකතාවේ සමාරම්භක අවස්ථාවේ විවිධ ලේඛකයන් විසින් විරචිත ‘කතා වස්තුය’ යනුවෙන් හඳුන්වනු ලැබූ කතාවලින් බොහොමයක් සැලකිය යුතු වන්නේ විත්ති කතා ලෙසටය. ඒවායෙහි අත්දුටු සිද්ධි විවරණ බහුල වශයෙන් දැකිය හැකිය. මාර්ටින් වික්‍රමසිංහගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්’හි ඇතුළත් බේගල් කතාව සැලකිය යුතු වන්නේ ද විත්ති කතාවක් ලෙසට ය. බේගල් නම් විකටයා පිළිබඳ චිත්ත රූපයක් මැවෙන අයුරින් ඒ කතාව ගොඩනගා විකාශනය කිරීමට වික්‍රමසිංහ ප්‍රකට කර ඇති විවේක බුද්ධිය අගය කළ යුතුය. මේ අරබයා අදහස් දක්වන වික්‍රමසිංහ මෙසේ පවසයි.
“හාස්‍ය රසයෙන් අනූන මෙහි ප්‍රාරම්භ කථාවස්තුව ගම්බද පළාත්වල වෙසෙන මනුෂ්‍යයකුගේ විද්ධ චිත්‍රයක් (Portruit) නිරූපණය කරයි. අන්දො අයියා නොහොත් බේගල් හැම පළාතකම මෑතක් වන තෙක් විසූ නමුත් බටහිර සභ්‍යත්වය පැතිරයාමත්, පතපොත සුලභවීමත් නිසා අන්තර්ධාන වීගෙන යන මනුෂ්‍යයෙකි. ‘බේගල්’ නමැති කථාවස්තුවෙන් දැක්වෙන්නේ ඒ මනුෂ්‍යයාගේ චරිතයෙන් බින්දු මාත්‍රයකි. එම කථා වස්තුවෙන් අඩක් කියවන කවරකුගේ සිත්හි වුවද, එයින් නිරූපණය කෙරෙන තැනැත්තාගේ සම්පූර්ණ ප්‍රතිබිම්බය පහළ වෙයි. අන්දො අයියා නමින් නොව, අනෙක් නමකින් තම ප්‍රදේශයෙහි ජීවත් වන එම ගණයෙහිලා ගැනෙන පුද්ගලයාගේ චරිතය ද දෙහ විලාසය ද ඔහුට සිහි වෙයි.”
(කථා ප්‍රවේශය – ගැහැනියක් 12, 13 පිටු)
‘පව්කාරයාට ගල් ගැසීම’ කතා සංග්‍රහයෙහි විත්ති කතා ගණයෙහිලා සැලකිය හැකි නිර්මාණ රැසක් ඇතුළත්ය. ‘ගුරුන්ට අකුරු වැරදීම’, ‘විදුලි පණිවිඩය’, ‘පණ්ඩිත බල්ලා’, පාළු අම්බලම’, ‘කබල් පොත් ගැරීම’, ‘සිනා නොමසෙන් දසන් දක්වා’, ‘නියඟෙට කිපීම’, ‘නගරයට පැමිණි වැද්දා’, ‘අට පිරිකර’, ‘පිස්සන්කොටුව’, ‘වැල කූඹ ආදී කතා රැසක් ඇතුළත් කළ යුතු වන්නේ විත්ති කතා හෙවත් තොරතුරු කතා ගණයටය. නිදසුනක් ලෙස ‘පාළු අම්බලම’ කතාව ආරම්භ කොට ඇති අයුරු විමර්ශන කිරීමෙන් විත්ති කතා ආරම්භය ගැන අදහසක් ගත හැකිය.
“අවුරුදු විස්සකින් පමණ හුණු නොගාන ලදින් සෙවෙල් බැඳීමෙන් කුළුපාට වුණු බිත්තිවලින් උසුලා ගත්, දැලි වළං සේ කළු උළුවලින් වැසුණු වහළ ඇති අම්බලම වනාහි ගෙයක් නොව ගෙයක අවතාරයක් වැන්න. මකුළුදැලක් කැඩීමට ඔසොවන ලද කොස්සකින් පහර නොලැබීම නිසා වඩාත්
ගරාවැටුණු අම්බලම දැන් පෙනෙනුයේ යාන වාහනාදිය සුලභ නොවූ සියක් අවුරුදු අතීතය නමැති මියගියහුගේ අවතාරයක් ලෙසිනි.”
(ප.ග.ගැ. 27 පිට)
සත්‍ය හෝ මිථ්‍යා අදහසක් පිළිබඳ තොරතුරු කථනයක යෙදීම මෙබඳු කතාවල දක්නට ලැබෙන සාමාන්‍ය ස්වරූපයයි. එමගින් රසිකයා ඥානනය කරන අතරම ප්‍රබෝධයක් හා කතා රසයක් ඇති කිරීමට ද උත්සාහ ගනී. ඒ ඇති කරන ප්‍රබෝධය හා කතා රසය තාවකාලිකය. මොහොතකින් එම තත්ත්වය යටපත් වේ. ‘කලිසමේ අගය’ කතාවද සැලකිය යුතු වන්නේ විත්ති කතා හෙවත් Imformation Tale ගණයටය. ලිසා නම් තරුණිය සිරිමන් සිල්වාට අකමැති වූයේ ඔහු කලිසම් නොඅඳින නිසාය. පවුලේ සෙසු අය කලිසම් අඳින තරුණයන් සමග විවාහ වී සිටියදී තමාට පමණක් රෙද්ද බැනියම අඳින කෙනකු සමග විවාහ විය නොහැකි බව ඇය කියා සිටියි. ඇය සිරිමන් සිල්වාගේ වෙනත් වරදක් නොදකී. සිරිමන් සිල්වා කොට කලිසම් දෙසීයක් මස්සවා ගෙන ගමට පැමිණ, ලොකු කුඩා තරුණයන් එක්රැස් කොට සතියකට වරක් කෙළි සෙල්ලම් තරග පැවැත්වීමට පෙලඹෙයි. මෙලෙස ගමේ කොලුකුරුට්ටන් කලිසම් ඇදීමට පෙළඹීම, කලිසමට උරුමකම් කියන පිරිස් උදහසට පත් කිරීමට තුඩු දෙයි. ගස් නගින අයත් කලිසම් ඇඳීමට පෙළඹීම කලිසමේ උරුමකරුවන් නින්දා අපහාසයට ලක් කිරීමක් බඳු විය. සිරිමන් සිල්වා කලිසම් අඳින බව දැනගත් පසු ලිසා ඔහු සමග විවාහයට කැමැත්ත දක්වා එවයි. කිසියම් එක් අදහසක් වටා කතාව ගොනු කිරීමට විත්ති කතාකරුවා සැලකිලිමත් වෙයි. ක්ෂණයෙන් පහව යන කතා රසයක් මෙබඳු කතාවලින් විඳ ගැනීමට ඉඩකඩ සැලසේ. ඇතැම් කතාවකින් රසික මුවගට මන්දස්මිතියක් ඇති කරයි.
බොහෝ විට මිනිසුන්ගෙන් සිදුවන අමනකම් හා මෝඩකම් කවරේ දැයි පෙන්වා දීමට ද විත්ති කතා රචනා කිරීමට පෙළඹුණු බැව් පෙනේ. ‘පව්කාරයාට ගල් ගැසීමෙහි’ ඇතුළත් ‘විදුලි පණිවිඩය’ එබඳු කතාවකි. එහි සීලප්පු මුදලාලිගේ හාමිනේගේ නමට ‘විදුලි පණිවිඩයක් ලැබේ. ඇය එයින් කලබලයට පත් වේ. එය ලියා තිබුණේ ඉංගිරිසියෙනි. මුදලාලිගේ කඩේ ලියන්නා තමා ඉංග්‍රීසි උගතකු බව හැඟවීම සඳහා ඉංග්‍රීසියෙන් පණිවිඩය ලියයි. එහෙත් ඉංග්‍රීසි වැරදිය. එහෙයින් ඉංග්‍රීසි දත් කෙනකුට වුවත් එය හරිහැටි සිංහලයට නැගිය නොහැකි වේ. ඇය සිංහලයට නැගූ පරිදි ‘සීලප්පුගේ දුව හැර ගෙදර සිටි අනික් සියල්ලම දුම්රිය පළට ගොස් සිටියත් රෑ අවසාන දුම්රිය එනතුරුත් ඔවුන් දුම්රිය පළෙහි බලා සිටි නමුත් මුදලාලි නොපැමිණේ. ඉන් පසු නිවසියෝ දුම්රිය පළේ ටිකට් දෙන මහත්මයා අතට දී එය නිවැරදිව සිංහලට නගන ලෙස පැවසුවත් ඔහු ‘ආගරපතන’ යන නම උසුරුවනු ලැබූයේ ‘ඇග්රා පැට්නා’ යනුවෙනි. ‘වෙද මහත්මයා’ ඔහු විසින් උසුරුවනු ලැබූයේ ‘වෙඩමහට්ටයා’ ලෙසටය. මෙහි ටිකට් නිකුත්කරන්නා ඉංග්‍රීසි හිසට ගත් පුද්ගලයෙකි. මෙලෙස ඉංග්‍රීසි භාෂාව ලොකුකම් කියා පෑමට හා පෙන්වීමට අවියක් කර ගැනීම වික්‍රමසිංහගේ සරදමට හා උපහාසයට ලක් වූයේය.
ඇතැම් ගැමි විශ්වාස හා පිළිගැනීම් මහත් විපත් හා ඛේදවාචක ඇති වීමට මං පාදන අයුරු පෙන්වා දීමේ අරමුණෙන් ‘නයා එලවීම’ කතාව රචනා කළ බැව් පෙනේ. නයකු විසකුරු සර්පයකු ගෙදර ඉඩමට පැමිණිවිට අන්ධ විශ්වාසවල එල්බගෙන සිටින ගැමියෝ සෙසු සර්පයන්ට වඩා නයාට ගරුසරු දැක්වීමට පෙළඹෙති. මෙහි ඉඩම් හිමියාගේ බිරිඳ මෙයට මසකට පමණ පෙර මියගිය හෙයින්, දරුවන්ට ආදරයෙන් සිටි ඇය සැපින්නක් බවට පත්ව ඇතැයි එක් ගැමි ගැහැනියක් පැවසුවාය.
ගැමියා සැපින්නට ඇමතූයේ, ගැමියන් මුදලි, මුහන්දිරම්තුමාලට අමතන ලෙසටය.
“අනේ නයිහාමි යන්න. මේ කැතකුණු ගොඩේ මොකට ඉන්නවාද? අපේ ගෙදර ඉන්නේ අහිංසක නොදරුවෝ, අනේ ඒ අහිංසක නොදරුවෝ ගලක් මුලක් විසිකරාට තරහ වෙන්න එපා! යන්න, යන්න…. ඔන්න ඔහොම යන්න”යි කියමින් අල්ලපු වත්තට සැපින්න යොමු කරවයි. එම වත්තට ඇතුළු වූ නයා කටුමැටියෙන් තනවන පැලකට ඇතුළුවී එහි විසූ කුඩා දරුවකුට දෂ්ට කර මරණය සිදු කරයි. මෙහිදී වික්‍රමසිංහ ගැමියන්ගේ මෝඩ තකතීරුකම් ද්වේශයකින් තොරව සිදුවීම් නිරූපණය කරයි. එහෙත් දරුවාගේ අවමඟුල් පෙරහැර හා භූමිදානය අරබයා ලේඛකයා කරන දේශනය මගින් මූඪ ඇදහිලි හා විශ්වාසවල ආදීනව පාඨක සිතට කාවැද්දෙයි. මිනිසුන්ගේ කපටිකම් මෙන්ම (වික්‍රමසිංහ මාර්ටින් (1936 – 1963) පව්කාරයාට ගල් ගැසීම – මහරගම සමන් ප්‍රකාශකයෝ) ගැහැනුන්ගේ මෝඩකම් ද සිනාවට ලක්කරන කතාවක් ලෙස ‘නගරයට පැමිණි වැද්දා’ දැක්විය හැකිය. එසේම ‘පව්කාරයාට ගල් ගැසීම’ කෘතියෙහි ඇතුළත් ‘වෙනස්වීම’, ‘පිස්සන් කොටුව’ යන කතාවලින් ලේඛකයා විවරණය කරන විස්තරයකට ලේඛකයා ගොඩනඟන කතාවක් හෝ දෙකක් ඇතුළත් කර තිබෙන අයුරු දැකිය හැකිය. වික්‍රමසිංහගේ සෙසු කෙටිකතා සංග්‍රහවල ද මෙබඳු විත්ති කතා ඇතුළත්ය. ‘මගේ කතාව’ ‘ලොකුකම යනු රචනා නිදසුන්ය. ‘වෙනස්වීම’ නැතහොත් විපරිණාම පිළිබඳව සිය අදහස් විදහා දැක්වීම සඳහා ‘වෙනස්වීම’ කතාව රචනා කළේය.
හාස්‍යොත්පාදනය හා උපහාසය ප්‍රිය කළ වික්‍රමසිංහ මිනිස් සිත්සතන් වෙළා පවත්නා කුහකකම් ඇතැම්විට නිර්දය ලෙස උපහාසයට ලක්කර ඇත ද එසේ කොට ඇත්තේ සානුකම්පිත සංවේදනයෙන් යුතුවය. මේ බැව් ‘මීයාගේ මරණය’ හා ‘බිත්තරයේ හටන’ යන කතාවලින් පැහැදිලි ලෙස ඉස්මතු වී පෙනේ.
බුදුන් වැඳීම, බණ ඇසීම, බණ උගැන්ම, දන්දීම යන ආදිය කළ පමණින් මිනිසෙක් බෞද්ධ ගති ඇත්තෙක් නොවේ. මොවුන් බොහෝවිට සැදැහැයෙන්ම තමන් විසින් තමන් රවටා ගැනීමෙන් කුහකයන් වනු වැළැක්වීමට ඔවුන්ගේ ශ්‍රද්ධාව හෝ බණ උගැන්ම හෝ ප්‍රමාණ නොවේ.’ යනුවෙන් වික්‍රමසිංහ ‘බණ කථා සාහිත්‍යය’ නම් කෘතියෙහි සඳහන් කරයි.
අපගේ විමර්ශනයට හසුවූ යථෝක්ත කතා කෙටිකතා ලෙස සැලකිය නොහැකි වන්නේ කෙටිකතා ව්‍යුහගත ලක්‍ෂණවලට අනුකූල නොවන හෙයිනි. එබඳු කතා විත්ති කතා ලෙස සැලකිය හැකිවන්නේ යම් සිදුවීම් තොරතුරු මෙන්ම ලේඛක විවරණ ඇතුළත් වන හෙයිනි.

සම්මානිත මහාචාර්ය
කුලතිලක කුමාරසිංහ
Saru FM Media