අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවය.
වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම, එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය වන බව දැකගත් අවස්ථාවකදී, ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ජනතාවටද අවස්ථාව ලබා දී ඇත.
ඒ සඳහා 070 3500525 යන WhatsApp අංකය හඳුන්වා දී ඇති අතර, අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් යොමු කිරීමෙන් පැමිණිලි කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
එම තොරතුරු අනුව,මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
Saru News
















