ජාතික සංවර්ධන බැංකුව (National Development Bank PLC (NDB) ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ‘A (lka)’ සිට ‘A-(lka)’ දක්වා පහත හෙළීම හා එම බැංකුවට ‘අහිතකර’ (Negative) දෘශ්‍යකෝණයක් (outlook) ලබා දීම හේතුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය යුතුබවට එම බැංකු අභ්‍යන්තරයෙන් පීඩනයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.ඊට අමතරව ෆිච්, NDB විසින් නිකුත් කළ Basel III නියමිතයන්ට අනුකූල උප-බැඳුම්කර (subordinated debentures) සඳහා වූ ශ්‍රේණිගත කිරීම ‘BBB+(lka)’ සිට ‘BBB(lka)’ දක්වා පහත හෙළා ඇත.
එම බැංකුව විසින් ඉකුත් සඳුදා ප්‍රකාශ කරන ලද අභ්‍යන්තර වංචාවක් හේතුවෙන් රුපියල් බිලියන 13.2ක පමණ අලාභයක් සිදුවී ඇතැයි යන කරුණු මුල්කරගෙන ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මේ පහල හෙලීම සිදුකරනු ලැබිණි.
මේ මංකොල්ල කන ලද මුදල් මේවන විට රටින් පිටතට ගලාගොස් ඇති බවද වාර්තා වේ.මේ වංචාව සිදුකර ඇත්තේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික මුදල් මාරු කිරීම් (Consumer Electronic Transfer Fund (EFT) හරහා බවත් මේවන විට හෙළිව ඇති අතර, මේ මුදල් NDB කොළඹ ශාඛාවේ සිට වෙනත් බැංකු 6ක් හා මූල්‍ය ආයතන 6කට මුදල් යවා නැතිනම් බැංකු ක්ෂෙත්‍රයම භාවිතා කර සිදුකරන ලද වංචාවක් බව මේවන විට හෙළිව තිබේ.
රවීහේ හෙළිදරව්ව…
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහ බැංකුවේ බැංකු අධීක්ෂණ භූමිකාව නිසි අයුරින් සිදු නොවීම මේ වංචාවට ප්‍රධානම හේතුවක් බවයි.
ඒ මහාතා EPF අරමුදල හසුරුවන මහ බැංකුවම විසින් NDB බැංකුවේ ආයෝජනය කරන බව ද එහිදී පෙන්වා දුන්නේය.
ඔහු මේ මංකොල්ලය ගැන මෙසේද ප්‍රශ්න කළේය.
“සාමාන්‍ය පුද්ගලයකු රුපියල් 100ක් රටින් පිටතට ගෙනියන්න යද්දී එය කුමක් සඳහා දැයි විමසන පිටු 4-5 ක ප්‍රශ්නාවලියකට පිළිතුරු දිය යුතුයි, නමුත් මෙහිදී රුපියල් මිලියන 12,800ක් රටින් පිටතට ගිහින් තිබෙනවා,”
“2023 දී ගිණුම්වල 3,100ක් තිබුණා; මෙය 2024 දී 12,100 දක්වා වැඩි වුණා. මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙය දැකලා 80 වගන්තිය යටතේ එය පරීක්ෂා කිරීමට නොහැකි වූයේ ඇයි?”
“කාගෙන්ද ප්‍රශ්න කළේ? අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනය, භ්‍රමණ මූලධර්මය කොහේද?”
NDB සල්ලි කාගෙද ?
මේ අතර, මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විශේෂිත වෝහාරික විගණනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බව සිළුමිණ පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේවුවද, මෙරට බැංකු ඉතිහාසයේ සිදුව ඇති බරපතළම මූල්‍ය වංචාව වන මෙය සම්බන්ධයෙන් බැංකුවේ අභ්‍යන්තර නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් කිහිප දෙනකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බව CID ය අධිකරණයට දැනුම් දී ඇත.
මේ වංචාව සිදු කිරීමේදී කිසිදු ලෙසකින් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් ගැනීමක් සිදු කර නැතැයි කියන සිළුමිණ පුවත්පත ගනුදෙනුකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවන බව බැංකුව පවසන බවත් කියා සිටී.
සිළුමිණෙහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර පවසා ඇත්තේ NDB ද්‍රවශීලතාව ඉහළ මට්ටමක තිබෙන බවයි.
බැංකුවේ අභ්‍යන්තර ගිණුමක් ලෙස සැලකෙන suspense account ඔස්සේ මේ වංචාව සිදු කර ඇති බව මේ වන විට සිදු කළ විමර්ශන අනුව හෙළිව තිබේ.
මේ මහා පරිමාණ වංචාවට සම්බන්ධව ඇති ප්‍රධානියා ලෙස සැලකෙන තොරතුරු තාක්ෂණ නිලධාරියා වයස අවුරුදු 38ක අයකු බවත්, සෙසු සැකකරුවන්ද එම වයස් සීමාවන්ට ආසන්න පුද්ගලයන් බවත් වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින අතර, එසේ ගත් මුදල් ක්‍රිප්ටො කරන්සිහි ආයෝජනය කර ඇති බවට වාර්තා වේ.
ප්‍රධාන කොටස් හිමියන්
NDB බැංකුව, පොදු සීමිත සමාගමක් ( PLC (Public Limited Company)කි.එහි ප්‍රධාන කොටස් හිමියන් ලෙස පහත ආයතන හා පුද්ගලයන් කටයුතු කරයි.
- Standard Chartered PLC – ~9.7%
- Employees’ Provident Fund (EPF) – ~9.2%
- Sri Lanka Government – ~7.7%
- Richard Pieris & Company PLC – ~6.0%
- Softlogic Life Insurance PLC – ~5.5%
- Sri Lanka Insurance Corporation – ~4.9%
- Employees’ Trust Fund (ETF) – ~3.3%
- Terra Partners Asset Management – ~3.1%
- Sena Yaddehige (individual investor) – ~2.7%
- Hatton National Bank PLC – ~2.7%
අදාළ බැංකු වංචාව සම්බන්ධයෙන් මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් අප විසින් වන අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටී.
සබැඳි පුවත්
NDB වංචාවෙන් රු. බිලියන 13.2ක ඇස්තමේන්තුගත පාඩුවක්!
මහාපරිමාන වංචාවකට NDB බැංකුවේ IT ලොක්කෙක් රිමාන්ඩ්
කෝටි 29යේ වංචාවට NDB බැංකුවේ GM හා ලොක්කන්ගෙන් CIDය ප්‍රශ්න කරයි
Saru News
















