‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ හිටපු කාර්තෘවරයකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී අනුර සොලමන්ස් මහතාගේ අවසන් කටයුතු හෙට (12) පස්වරු 3.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ඒ මහතාගේ දේහය මේවන විට මජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කෙරෙනු ඇත.
සොලමන්ස් මහතා පෙරේදා (10) කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කමක් සිදුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.
මල්ටි ෆැක්ස් ආයතනය 1981 ප්‍රකාශයට පත් කළ ‘ඉරිදා’ පුවත්පතෙන් ඔහු පුවත්පත් කලාවට එක්වූයේ කිත්සිරි නිමල්ශාන්ත හා ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන් සමඟය.
එවකට ඉරිදා පුවත්පතේ කර්තෘත්වය දැරුවේ කිත්සිරි නිමල්ශාන්ත මහතාය.
1982දී උපාලි පුවත්පත් සමාගම දිනපතා දිවයින පුවත්පත ආරම්භ කළ වසරේම ඔවුහු තිදෙනා ඊට එක්වූහ.
උප කර්තෘ අංශයේ මුලින් සේවය කළ ඔහු විශේෂාංග රචකයෙක් සේම විදෙස් පුවත් රචකයෙක් ලෙස කැපී පෙනුණේය.
ඔහු පත්‍ර කලාවේ නම රැන්දූවේ දිවයිනට ලියූ කතුවැකිවලිනි. එම කතුවැකි පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් විය.
මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය දැරූ වකවානුවේ අනුර සොලමන්ස් ඔවුන් දෙදෙනාගේ උපදේශකයෙක් ලෙසද රාජකාරි කළේය.
ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය උපදේශකයෙකි.
1960 මාර්තු 11 වැනිදා වත්තලදී උපත ලැබූ අනුර සොලමන්ස් කෑගල්ලේ සාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය ලබා, පුවත්පත් කලාව පිළිබඳ දෙස් විදෙස් වැඩිදුර අධ්‍යාපනය ලැබූවෙකි.
මිය යන විට හැට හයවැනි වියේ පසුවූ ඔහු, සමුදුර පුවත්පතේ හිටපු කර්තෘවරියක හා ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරියක සේම ග්‍රන්ථ කර්තෘවරියක වූ නිශානි දිසානායකගේ ආදරණීය සැමියාය.
දෙදරු පියෙකු වූ ඔහුගේ දියණිය යශෝධරා සොලමන්ස් වන අතර, පුතා ඉසුරු සොලමන්ස්ය.
Saru News
















