සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ 04ක වෘත්තිකයින් 154 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ – Saru News | සිංහල

0
3

මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ වෘත්තීය කා‌ණ්ඩ කිහිපයකට අදාලව පත්වීම්ලාභීන් 154 දෙනෙක් සඳහා පත්වීම් ප්‍රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ (10) කටයුතු කරන ලදි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම පත්විම් ප්‍රධානෝත්සවය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

විකිරණ ශිල්පී උපාධිය හදාරන ලද හා ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරන ලද, සය මාසික අනුස්ථාපන සහ සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද විකිරණ ශිල්පීන් ලෙස 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් ලෙස 10 දෙනෙකුට මෙහිදී නව පත්වීම් ප්‍රදානය කෙරුණි.

එමෙන්ම ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-2) සේවා ගණයේ සෞඛ්‍ය රසායනාගාර සහායක හා කීට‌විද්‍යා ක්ෂේත්‍රයේ උපස්ථායක තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගන්නා නිලධාරින් ලෙස  කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුටද නව තනතුරට අදාලව පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මෙම පත්වීම් ලබාදෙන්නේ පත්වීම් ලබාදීමට ඉතාමත් අසීරු කාලසීමාවක බව පෙන්වා දුන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි කුමන බාධක පැමිණියද බඳවා ගැනීම් ප්‍රමාණය උපරිමයෙන් සිදු කිරිමට පියවර ගන්නා ලද බවත්, එමගින් නිදහස් සෞඛ්‍ය සේවාව තව තවත් පුළුල් කිරීමටත්, ගුණාත්මකභාවය වැඩි කිරිමටත් බලාපොරොත්තු වන බවද පැවැසීය.

රෝගීන්ට උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව සතු තාක්ෂණික දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, උපතින් හා සමාජ ආශ්‍රයෙන් ලබාගන්නා ලද දැනුමද උපයෝගී වන බව සිහිපත් කළ නියෝජ්‍ය ඇමති, රාජකාරි සීමාවෙන් එහා ගොස් රෝගීන් සත්කාර වෙනුවෙන් දැනුම, හැකියාව, කුසලතාවය ලබාදීමට සෞඛ්‍ය වෘත්තිකයින්ට හැකි විය යුතු බවද පෙන්වා දෙන ලදි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනුම කුසලතාවය හා හැකියා‌වෙන් එහා ගිය සේවාවක් සෞඛ්‍ය සේවකයින් තුළින් බලාපොරොත්තු වන බවත් එවැනි පරිපූර්ණ සෞඛ්‍ය වෘත්තිකයින් බිහිවීම තුළින් තිබෙන සම්පත් ප්‍රමාණය තුළ බොහෝ සෞඛ්‍ය සේවා සාර්ථකව ලබාදිය හැකි වනු ඇති බවද පැවැසීය.

ජනතා බදු මුදලින් වැටුප්, උපකරණ, ගොඩනැගිලි ලබාගන්නා බැවින් ඊට උපරිම සාධාරණයක් ඉටු කළ යුතු බවද පැවැසූ නියෝජ්‍ය ඇමති බෝහෝ උපකරණවලින් නිසි ප්‍රයෝජන නොගන්නා බවද අවධාරණය කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පත්වීමි ලද සියළු වෘත්තිකයින් මෙරට සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල වන බවත්, කාන්තා විකිරණ ශිල්පීන් ලෙස සැළකිය යුතු සංඛ්‍යාවක් එම සේවාවට එක්වීම ඉතා වැදගත් වන බවත්, විශේෂයෙන් පියයුරු පිළිකා රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයන් ඇතුළු සේවා සඳහා ඔවුන්ගේ සේවාව ඉතා වැදගත්වන බවත්ය. තම පවුලේ සාමාජිකයෙක් රෝගී වුන විට තමන්ට එන හැගීම සහ අවශ්‍යතා, සේවා ලාභියාගේ මානසික සහ සෞඛ්‍ය අවශ්‍යතාවය සේ සළකා කටයුතු කළ යුතු බවද පැවැසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) I ජනක කිත්සිරි කියා සිටියේ අද වනවිට මෙරට රාජ්‍ය සේවයේ ලක්ෂ 14 සීමාව අභිබවා ගොස් ඇති බවයි. ඒ තුළ සෞඛ්‍ය වෘත්තිකයින් 150,000ක් වන බවත්, දකුණු ආසියාවේ මාලදිවයිනට පසු ජනගහනයට සාපේක්ෂව වැඩිම රාජ්‍ය සේවකයින් සහිත රට ශ්‍රී ලංකාව බවද පැවැසීය. සෞඛ්‍ය අංශය තුළ බොහෝ දුරට මානසිකව වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව කථා කරන බවත්, මහජනතාවගේ රෝගී අයිතිවාසිකම් පිළිබඳ කථා නොකරන බවද පැවැසීය. වෘත්තීය අයිතිය වෙනුවෙන් රෝගීන් මිය ගියද ප්‍රශ්ණයක් නොමැති තත්ත්වයට මානසිකව කටයුතු කරමින් මුදල් පසුපස හඹා යන බවද, මහජනතාව වෙනුවෙන් උපරිම සේවාවක් ලබාදීම ප්‍රමුඛ කොට මානුෂීය හැගීම අතැතිව සිය වෘත්තීය කටයුතු සිදු කළ යුතු බවද වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච්.ගමගේ, අතිරේක ලේකම් (පාලන) III කේ.පී යෝගචන්ද්‍ර ඇතුළු අතිරේක ලෙක්ම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරී සහ පත්වීම්ලාභීන් එක්ව සිටියහ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here