ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න පත් කර ඇත.
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව මෙම සාකච්ඡාවේදී අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර කියා තිබේ.
නව පනත ගෝලිය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණ දිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර, අන්තර්ජාතික වශයෙන් පිලිගන්නා වු මෙරට ව්‍යවස්ථාවෙන්ද සහතික කර වු මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතින් කඩනොවන ආකාරයේ පනතක් විය යුතු බවද එහිදී ඔහු අවධාරණය කර ඇත.
පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්යෝගයෙන් කටයුතු කර නොමැති අතර මේ සදහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති මෙහිදී කමිටු නිලධාරින්ට දැනුම් දි තිබේ.
මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස්ද ලබා ගැනීම පිණිස කටයුතු කරන ලෙසත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ හර්ෂණ නානායක්කාර කමිටුවට උපදෙස් දි ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Saru FM Media