ඒක විප්ලවයක්

0
8

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 11, කොළඹ LNW:

වැඩි අවධානයක් නැතුව කල් ගෙවමින් සිටි ශ්‍රී ලංකාවේ හොකී දෙස දැන් ආසියාම හැරී බලයි.2025 දී තිබුණු තත්ත්වය සපුරා වෙනස් තත්ත්වයකට ගෙන එමින් ඔවුන් ඉතා කෙටි කාලයක කොළඹ රීඩ් පිටියේ හලපු විශාල දහදිය ප්‍රමාණයට ආසියාතික වටිනාකමක් දි ඇත.ඒ වටිනාකම රටට දීමට ඔවුන් ගත් වෙහෙස සුළු නැත.රටේ පූර්ව නිගමනය වී තිබුණේ ඔවුන් ඒ තරම් වටින්නේ නැති බව විය යුතුය.ඉතා දුෂ්කර තත්ත්වයන් මැද,

මීට වසර 40 ට පමණ මඟි ප්‍රවාහනයට එකතු වූ කුඩා වෑන් රථවල සෙනඟ පටවාගෙන ගිය ආකාරයට ඔවුන් තරග පිටිය සඳහා ගිය හැටි හුවමාරුවන වීඩියෝ හරහා අපි දුටුවෙමු.වැදගත්ම දේ එයින් කළකිරී පසුබෑම නොවන බව පෙන් වූ මේ ක්‍රීඩක කණ්ඩායම තමන්ට ඒ හැන්දෙන් බෙදූ අයට කළකිරීමට හේතු සම්පාදනය කිරීමය.එහෙත් දැන් ඒ කතා වෙනුවට ඇත්තේ තායිලන්තයේ සිට රැඟෙන එන අනු සූරතා කණ්ඩායම සමඟ ඇඟේ ගෑවෙමින් පොටෝ ගැනීමේ තරගයය.ඒ ජයග්‍රහණය ගැන ප්‍රශස්ති වැනීමේ කාලයය.

කටුනායකින් ඇරඹෙන මේ රූ ගත කිරීම් රූපවාහිනි තිර මත ද නිසල කැමරා කාචවල තැවරී මුද්‍රිත පිටු තුළ ද,මේ ජාති දෙකේම අලංකරණ සමාජ මාධ්‍ය ජාලයේ සහ ඩිජිටල් අවකාශයේ ද පතිත වනු ඇත.සියල්ලන්ම තමන් මේ ජයග්‍රහණය වෙනුවෙන් දක්වන ලද දායකත්වය නැරඹීමට කුඩා දේ ලොකු කර පෙන්වන උපකරණ කියවන්නාගේ සහ නරඹන්නාගේ ඇස් කාචවලට පළදින්නට උත්සාහ කරනවා සැක නැත.

කවුරුත් අපි දුන්න දේවලට වඩා ගොඩක් ලොකු දෙයක් අපිටත් රටටත් ආඩම්බර වෙන්න මේ කොල්ලො ටික අරගෙන ආවා යැයි කියන්නේ නම් නැත.ක්‍රීඩා අමාත්‍යංශයේ සිට හොකී පරිපාලනය දක්වා සියල්ලම තමන් විසින් ක්‍රියාත්මක කරන අහවල් වැඩ සටහනේ ප්‍රතිපලයක් ලෙස මේ ජය ලැබුණ බව කියන්නට කටවල් හෝදාගෙන සූදානම් වනු ඇත.ඒ දායකත්වයේ ලොකු කොටස බෙදා ගැනීමේ තරගය උත්සන්න වෙද්දී ඒ වෙනුවෙන්ම සූදානම් මාධ්‍යකරුවන් පිරිසක් ද සොයා ගැනීම අසීරු නැහැ.

වැදගත්ම දේ මේ සටන නිමාවන විට ශ්‍රී ලංකාව මේ තරගාවලියට සහභාගි වූ ලෝක ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය වෙනස් කරගෙන ඉදිරියට පැමිණ 36 වන තැන සිටීමයි.තරගාවලිය ආරම්භ වෙද්දී ඔවුන් සිටියේ 39 වන තැනයි.ඔවුන් පරාජය කරන ලද කණ්ඩායම් අතර බංගලාදේශය වැනි කණ්ඩායමක් ද සිටීම අතිශයින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇගයීමට හේතුවක් ලෙස සැළකිය යුතුයි.ඔවුන් තරගාවලිය ආරම්භයේදී සිටි 28 වන තැනින් 30 වන තැන දක්වා ශ්‍රී ලංකාව සමඟ වූ තරගයේදී පහත වැටුණත් සෙසු කණ්ඩායම් ඉදිරියේ යළිත් හිස ඔසවා ගන්නට සමත් වී 28 වැනි ස්ථානය රැක ගන්නට සමත් වුණා.
ශ්‍රී ලංකාව සමඟ සසඳද්දී පරාජය කළ කණ්ඩායම් අතර බංගලාදේශය හැරෙන්නට අන් සියලුම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට පසුපසින් සිටින බව සත්‍යයක්.ඒත් එම රටවලට ඇති අවස්ථාවන් සහ පහසුකම් සමග ඕනෑම වෙනසක් සිඳු විය හැකි බව 2025 වසරේදී ඔවුන් හා පැවති තරගවල ප්‍රතිපල ගෙන බැලීමෙන්ම වුව පැහැදිළි කර ගත හැකියි.ඒ නිසා මේ ජය පහසු හෝ අනිවාර්යෙන්ම ලබා ගත හැකිව තිබූ ජයක් හැටියට ගත නොහැකියි.මෙය පෙරළියක් නැතිනම් විප්ලවයක් ලෙස සැළකිය යුතු එකක් විනා ශ්‍රේණිගත කිරීම්වල අංකවලින් කිරා මැන බලා තීරණය කර පහත හෙළිය නොහැකියි.

චීන තායිපේ,ඉන්දුනීසියාව,බංගලාදේශය,උස්බෙකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පැමිණි ගමන් මඟ තුළ ලද එකම පරාජය අවසන් තරගයේ ඕමානයට විය.මේ පරාජය මෙන්ම ජයග්‍රහණයේදී ද ප්‍රතිවාදී ආක්‍රමණ සුළු ඒවා නොවිණ.ඒ බව කියන්නට හොඳම සාක්ෂිය දෙන්නේ ආසියානු හොකී සම්මේලනයය.ඒ ආක්‍රමණයන් ව්‍යාර්ථ කරමින් ඔහුව පසු කරන්නට හීන් ඉඩක් හෝ නොතබමින් කරන ලද මෙහෙය වෙනුවෙන් තරගාවලියේ හොඳම දැල රකින්නා වූයේ තරිඳු හීන්දෙනියය.තරිඳු පමණක් නොව මේ තරගාවලියට සහභාගි වි ක්‍රීඩකයන් සමඟ ගැවසෙමින්,දුන බෙදා ගත්,ගැටළු දරාගත් සියල්ලම ශ්‍රී ලංකාව වෙනුවෙන් කලේ හීන් වැඩක් නොවේය.එය මහා විශාල වැඩකි.කැපකිරීමකි.ජයග්‍රහණයකි.

The post ඒක විප්ලවයක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here