ශර්මාගේ සුපිරි පිතිහරඹයෙන් තැඹිලි හමුදාවට විශිෂ්ට ජයක්

0
11


අභිෂේක් ශර්මාගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුලු 08කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග අයි.පී.එල් වරම් හිමිකර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 245ක්.

මෙහිදී එෂාන් මාලිංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 45ක් ලබාදී කඩුලු 02ක් දවාගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 246ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි හයිද්‍රාබාද් ආරම්භ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

එහිදී අභිෂේක් ශර්මා සහ ට්‍රාවිස් හෙඩ් එක්ව පළමු කඩුල්ලට ලකුණු 171ක දැවැන්ත සබඳතාවක් ගොඩනැඟුවා.

ට්‍රාවිස් හෙඩ් පන්දු 37ක් තුළ ලකුණු 66ක් රැස් කළ අතර, පිටිය සිසාරා පහර එල්ල කළ අභිෂේක් ශර්මා පන්දු 40 කදී ශතකට සම්පූර්ණ කළා.

ශතකය සම්පූර්ණ කළ අභිෂේක් තමන් සන්තකයේ තිබූ කොළයක ලියා තිබූ දෙයක් ප්‍රදර්ශනය කරන අයුරු දැකගත හැකි වුණා.

“Just felt today was going to be my day” (අද මගේ දවස වෙයි කියලා මට හිතුනා) යනුවෙන් එම කොළයේ ලියා ඇති ආකාරයයි දැක ගැනීමට හැකි වුණේ.

පන්දු 40ක් තුළ රැස්කළ මෙම ශතකය වාර්තා අතරට එක් වුණේ මෙවරට තරගාවලියේ මේ දක්වා පිතිකරුවෙක් රැස්කළ දෙවන වේගවත්ම ශතකය ලෙසටයි.

එතැනින් නොනැවතුණු ශර්මා තැඹිලි හමුදාව ජයග්‍රහණය කරා රැගෙන යමින් පන්දු 55කට මුහුණ දෙමින් ලකුණු 141ක් රැස් කිරීමට සමත් වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 247ක් රැස්කරමින් මෙම තරග ජයගත්තා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here