උත්සව සමය ආරම්භ වීමත් සමඟ ගිනිකෙළි භාවිතය ඉහළ යන බැවින්, ඒ ආශ්‍රිතව සිදුවන බරපතළ අනතුරු සහ තුවාල වළක්වා ගැනීමට වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා පවසයි.
සෑම වසරකදීම අහස්කූරු, රතිඤ්ඤා සහ විවිධ ගිනිකෙළි සංදර්ශන හේතුවෙන් දරුවන් ඇතුළු බොහෝ පිරිසක් බරපතළ උපද්‍රවයන්ට මුහුණ දෙන බව ඒ මහතා පෙන්වා දෙයි. මේ නිසා තම දරුවන් ගිනිකෙළි සඳහා යොමුවන්නේ නම්, මවුපියන් සහ වැඩිහිටියන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි. දරුවන්ට අවශ්‍ය නිසි මගපෙන්වීම් ලබාදිය යුතු බව ඔහු අවධාරණය කරයි.
ගිනිකෙළි නිෂ්පාදකයන් වෙත විශේෂ දැනුම්දීමක් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සමාජයට ලබාදීම, ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම අපරාධ නඩු පවරන බවයි. එවැනි නිෂ්පාදකයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම්ව සිටී.
Saru News
















