ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය
ශ්‍රී ලංකාව කිසිවිටකත් නොසිතූ සටන්කාමී ක්‍රීඩා විලාසයක් පෙන්වූ හොංකොං කණ්ඩායම තරගය තමන් නතු කරගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංකගේ අගනා ලකුණු 68 හේතුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිකරගැනීමට ආසියානු කුසලාන තරගාවලියේ දෙවැනි තරගයේදී හැකිවිය.
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේ හොංකොං කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගෙන ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කරගෙන දළ ලකුණු වේගය වැඩිකර ගැනීමටය. කෙසේ වෙතත් හොංකොං කණ්ඩායමේ අන්ශි රාත් සහ නිස්කාත් ඛාන් එක්ව හොංකොං කණ්ඩායම ඉතා ගෞරවාන්විත තැනට ගෙන ගියහ.
අන්ශි රාත් පන්දු 46කට මුහුණදී ලකුණු 48ක් ද නිස්කාත් ඛාන් පන්දු 38කදී ලකුණු 58ක් ද ලබාගත්හ. හොංකොං කණ්ඩායමේ පන්දුවාර 16කදී කඩුලු 2ක් දැවී ලකුණු 118ක් ලබාගෙන තිබූ අවස්ථාවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුලු ලබාගැනීමට කුමන උපක්‍රමයක් යොදවනවා ද යන්න දෙගෙඩියාවෙන් පසුවිය. හොංකොං කණ්ඩායම රිසි සේ පන්දුවට පහරදුන් අතර අවසානයේ ලකුණු පුවරුව දැක්වූයේ නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 149කි.
මෙම තරගයට මතීෂ පතිරණ ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කළ අතර තීක්ෂණ සාමාන්‍ය පරිදි පන්දු යැව්වත් ලොකු දක්ෂකමක් දැක්වීමට සමත්වූයේ නැත. දුෂ්මන්ත චමීර ලකුණ 29කට කඩුලු 2ක් ද, වනිඳු, දසුන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
ලකුණු 150ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස්ය. මෙම ඉලක්කය ශ්‍රී ලංකාවට සිතූ තරම් ලෙහෙසි නොවන බව හොංකොං පන්දු යවන්නෝ පෙන්වූයේ පැතුම් නිස්සංක අභියස සිටියදී අනිත් අන්තයේ පිතිකරුවෝ එකින් එක බිඳ වැටෙමින් ක්‍රීඩාගාරයට යැවීමට සමත් වීමෙනි.
කෙසේ වෙතත් හොංකොං කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නිසා ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක් ලැබුණු අතර සියලු උඩ පන්දු රැක ගත්තා නම් ශ්‍රී ලංකාව පරාජයවීමට ද ඉඩ තිබුණි.
පැතුම් නිස්සංක 17 වැනි විස්සයි – විස්ස අර්ධ ශතකය ලබාගනිමින් හොංකොං කණ්ඩායමට හිසරදයක් වෙමින් පන්දුවට පහරදීම නිසා ශ්‍රී ලංකාව අවසානයේ කඩුලු 4ක ජයක් ලබාගැනීමට හැකියාව ලැබුණි.
තවද තරගයේ අවසානයේදී වේගවත් ඉනිමක් දියත් කළ වනිඳු හසරංග හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලබාගත් ලකුණු 20 සුවිශේෂී කඩඉමක් ලෙස ද හැඳින්විය හැකිය.
හොංකොං පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 149 යි – (සීශාන් අලී 23, අන්ශි රාත් 48, බාබර් හයත් 04, නිසාකාත් ඛාන් 52★, යස්මින් මුර්ටාසා 05, අයිසාස් ඛාන් 04★, දුෂ්මන්ත චමීර 29/2, වනිඳු හසරංග 27/1, දසුන් ශානක 05/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 18.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 153 යි – (පැතුම් නිස්සංක 68, කුසල් මෙන්ඩිස් 11, කමිල් මිශාර 19, කුසල් පෙරේරා 20, දසුන් ශානක 06★, චරිත් අසලංක 02, කමිඳු මෙන්ඩිස් 05, වනිඳු හසරංග 20★, යස්මින් මුර්ටාසා 37/2, අයුසා ශුක්ලා 30/1, අයිසාස් ඛාන් 27/1)
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media