අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි විදේශීය ජාතිකයන් 152 ක් රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගලික ඇප දෙකක් මත මුදා හරින ලෙස හලාවත දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.එස්.ඩී. වීරසිංහ ඊයේ (09) නියෝග කළේය.
සැකකරුවන් ඇප කොන්දේසි සපුරාලන තුරු වැලිසර පිහිටි විදේශිකයන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසද දිසා විනිසුරුවරයා නියම කරන ලදී.
සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ.
හලාවත – අඹකඳවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටියදී ඉකුත් 02 වැනිදා සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර විදේශීය ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගෙන ඇති අය අතර චීන ජාතිකයන් 131 ක්, චීන කතුන් 06 ක්, වියට්නාම ජාතිකයන් 10 ක්, එම කතුන් 03 ක්, තායිවාන ජාතික කාන්තාවක් සහ මැලේසියානු ජාතිකයකුද සිටිති.
සැකකරුවන් සතුව තිබූ ඩෙක්ස්ටොප් පරිගණක 99 ක්, ලැප්ටොප් 26 ක්, ජංගම දුරකථන 259 ක්ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගෙනඇති විදේශීය ජාතිකයන් පිරිස මාස 03 ක පමණ කාලයක් හලාවත – අඹකඳවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිට ඇත.
තමන් රැඳී සිටි සංචාරක හෝටලයේ සේවකයන්ට සහ කළමනාකාරීත්වයට ඔවුන් පවසා ඇත්තේ මෙරට ව්‍යාපාරික කටයුතු සිදු කරන පිරිසකට පුහුණු වැඩසටහනක් පවත්වන බවය.
නමුත් මෙම පිරිස හෝටලයේ රැඳී සිටිමින් කිසියම් පරිගණක අපරාධයක් සිදු කරන බවට පොලිස් බුද්ධි අංශ සැක පළකර තිබිණි.
ඒ අනුව සැකකටයුතු විදේශීය ජාතිකයන් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත දැනුම් දීමට බුද්ධි අංශ කටයුතු කරන තිබිණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් විසින් කර ඇති දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඉකුත් 02 වැනිදා රාත්‍රියේ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර විදේශීය ජාතිකයන් පිරිස ව්‍යාපාරික සහ සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි බවද එහිදී අනාවරණය වී ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඉකුත් 03 වැනිදා සැකකාර විදේශිකයන් රැඳී සිටි හෝටලයට පැමිණ විමර්ශන කටයුතු සිදු කරන ලදී.
අනතුරුව සැකකාර විදේශීය ජාතිකයන් පිරිස 03 වැනිදා සවස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් එස්.ටී. අබේරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කරන ලදි.
09 වැනිදා පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් රථ 02 කින් සැකකාර විදේශීය ජාතිකයන් පිරිස හලාවත දිසා අධිකරණය වෙත රැගෙන විත් තිබිණි. අනතුරුව ඔවුන්ව දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදි.
මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 20 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
Saru News
















