එම්. ඩී. බණ්ඩා මහතා අභාවප්‍රාප්ත වී 51 වන වසර සමරන 2025 සැප්තැම්බර් මස 18 වන දින, එතුමා 1966 “ගොවිකම්” සඟරාවේ ජනවාරි – මාර්තු කලාපයට, කෘෂිකර්ම සහ ආහාර ඇමැති වශයෙන් ලියූ පණිවිඩයෙන් බිඳක් උපුටන්නට කැමැත්තෙමි.
“ස්වාධීන ජාතියක් ලෙස 18 වසරක් ජීවත් වී ඇති අපට ආර්ථීක නිදහස ද අත්‍යවශ්‍යය. වැඩි වැඩියෙන් ආහාර වර්ග වගා කොට රටට අවශ්‍ය ආහාර අප විසින් රට තුළම නිපදවා ගැනීම මෙ ආර්ථීක නිදහස ළඟාකර ගැනීමේ එක් මගකි”.
එම්. ඩී. බණ්ඩා මහතාගේ වසර විසි හතක දේශපාලන දිවියේ (1943 – 1970) උච්චතම වකවානුව එතුමා කෘෂිකර්ම සහ ආහාර ඇමැති ධුරය හොබවමින් ලක්දිව තුළ “වගා සංග්‍රාමයක්” දියත් කළ 1965 – 1970 අවධිය ලෙස සැලකිය හැකිය. එතුමාගේ වචනයෙන් ඉහත කියන පරිදි, ලංකාවට ආර්ථීක නිදහස අත් පත් කර ගැනීමට ඉතා වැදගත් කාර්යභාරයක් කෘෂිකර්මාන්තයට ඇති බව එතුමාගේ දැක්ම විය. එය පදනම් කර ගනිමින් එතුමා ලක්දිව ආහාර වලින් ස්වයංගපෝෂිත කරවීම සඳහා ගත් උත්සාහය ඉතා සාර්ථක වූ බව පෙනී යන්නේ කෘෂිකාර්මික සංවර්ධන සැලැස්ම – කෘෂිකර්ම අමාතයංශය (1971 -1977) බලන කල්හි ය.
අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව, අගමැති ඩඩ්ලි, රාජ්‍ය ඇමැති ජේ. ආර්., අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල ඇතුළු ශ්‍රී ලාංකේය දේශපාලන ආන්දෝලනාත්මක දක්ෂ ඇමැතිවරු රැසක් සමග ඇම්. ඩී. බණ්ඩා මහතා ද මෙහි වේ.
මේ අනුව ලංකාවේ අතුරු ගබෝග නිමැයුම 1964 සිට වාර්ෂිකව විශාල වැඩි වීමක් පෙන්නුම් කරයි. අර්තාපල් ටොන් තුන්සිය හැටක් 1964 නිපදවූ අතර 1969 වන විට එය ටොන් විසිනවදාස් පන්සිය විසි එකක් වශයෙන් වාර්ෂිකව, ක්‍රමිකව වැඩි වීමක් පෙන්නුම් කරයි. එලෙසම, මිරිස්, කාර්තු හොන්ඩර හතරේ සිට, 1969 වන විට කාර්තු හොන්ඩර එකසිය තිස්තුන දක්වාද රතු ලූනු කාර්තු හොන්ඩර තුසිය විසිපහේ සිට හත්සිය හතළිස් එකක් දක්වා ද වැඩිවී ඇත. මෙම අතුරු භෝග සම්බන්ධ දත්ත වලින් පැහැදිළි වන්නේ වගා සංග්‍රාමයේ සාර්ථකත්වය සහ ලංකාව කෘෂිකර්මාන්තයෙන් මෙම කෙටි කල තුළ පෙන්නුම් කළ වර්ධනයයි.
මේ පමණක් නොව ආසියානු සංවර්ධන බැංකුවේ 1970 වාර්තාව (Asian Development Bank – 1970 Annual Report) අනුව, ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනයේ ද මෙවැනිම වර්ධනයක් සටහන් වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ වී නිෂ්පාදනයේ ශීඝ්‍රතම වර්ධනය පෙන්නුම් කරන්නේ 1965 – 1970 කාලයේදීය. එය 22.3% වන අතර 2024 වන තෙක් අනෙක් සෑම කාලයකම වර්ධනයේ 10% වඩා අඩුවේ.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන වාර්තා සැලකූ විට අපට ඉතා පැහැදිලි කරුණක් වන්නේ බණ්ඩා මහතාගේ සමයේ ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් මහඟු ප්‍රතිඵල ලබා ගත් බවයි. මෙයට බොහෝ විට අමාත්‍යවරයාගේ ඉමහත් කැපවීම සහ දූරදර්ශී මඟ පෙන්වීම සමඟම එතුමා සංවර්ධනය පිළිබඳ දැරූ දර්ශනය ද වැදගත් වූ බව සැළකිය හැකිය. එක් අතකින් ඔහු නවීන සහ විද්‍යාත්මක කෘෂිකාර්මික ක්‍රම ගැන විශාල විශ්වාසයක් තැබුවේය. ගොවිකම් සඟරාවේ ඉහත උපුටා ගැනීම කළ පණිවිඩයේම ඔහු මෙසේද කියයි “වැඩි වැඩියෙන් අස්වැන්න නෙළා ගැනීම උදෙසා නවීන ගොවිතැන් ක්‍රම ක්‍රියාවේ යෙදිය යුතු වෙයි”

මේ සමග ම බණ්ඩා මහතාගේ චරිතයේ තවත් ගුණාංගයක් වන ජනතාව කෙරේ එතුමාගේ තිබූ ළබැඳියාව හා විශ්වාසය පෙර සඳහන් උපුටා ගැන්මේ පහත සඳහන් අගකොටසින් ප්‍රකාශ වේ: “මේ සඳහා (එනම් ආහාර රට තුළම නිපදවීම මගින් ආර්ථීක නිදහස කරා යාම) රජය මගින් නිසි විධිවිධාන හා සැළැස්ම යොදා ඇති මුත් ඒවා ක්‍රියාත්මක කිරීමත් පතළ කිරීමත් රඳා පවතින්නේ පොදු ජනයාගේ අතේය. මෙකී අදහස් හා අරමුණු පොදු ජනයා අතර පතළ වූ තරමට එකී අරමුණු ඉටුවේ යැයි විශ්වාස කළ හැක”. බණ්ඩා මහතා
සංවර්ධන කාර්යයේ පොදුජන සහභාගිත්වය ගැන දැරූ මෙම ආකල්පය එතුමා කෘෂිකර්ම සහ ආහාර ඇමැති වශයෙන් 1965 – 1970 තුළ සිදුකළ විප්ලවීය සේවයට ඉමහත් ලෙස දායක වූ බව විශ්වාස කළ හැකිය.
එවක වගා සංග්‍රාමය හා ඉතා කිට්ටටුවෙන් කටයුතු කළ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන පරිදි “මෙම මහඟු ජාතික කරතව්‍යය (වගා සංග්‍රාමය) විෂිශ්ඨ සහ වෙන කිසිම වය්‍යාපෘතියක් සමඟ සම කළ නොහැකි තරම් සාර්ථක වූවක් පමණක් නොව,

මෙය ජනතාව ආශ්වාදයට පත් කළ සහ එකමුතු කළ ව්‍යාපෘතියක් විය. මෙහි සෑම අයෙකුටම කළ හැක්කක් විය. මෙයට නව ගරුත්වයක් සහ පිළිගැනීමක් ලැබූ ගොවියන් සහ එම පවුල් පමණක් නොව, තම පාසැල් නිළ ඇඳුමෙන් කුඹුරුවලට බැස, වල් පැළ ගැලවීම සහ වෙනත් එවැනි සුළු කාර්යයන් හි නියැලුණු ළමුන්ගේ ද සහභාගිත්වයක් තිබුණි.” (බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ ලිපියක සිංහල පරිවර්තනයකි).
එම් ඩී. බණ්ඩා මැතිතුමාගේ පුරා වසර තිස්පහකට අධික සමාජ සේවා දිවියේ (1938 – 1970) තිබෙන වැදගත්ම සහ කැපී පෙනෙනම ලකුණ වන්නේ ඔහු පොදු ජනයා කෙරේ දැක්වූ මෙම ධනාත්මක ආකල්හපයයි. 1943 සක්‍රීය දේශපාලනයට ඇතුළු වීමට ද බණ්ඩා මහතාගේ මෙම පොදු ජන ආකර්ෂණය ඉවහල් විය. මන්දයත් ඔහු ආදායම් පාලක (DRO) වශයෙන් සේවය කළ උඩහේවාහැට (මෙම ආදායම් පාලක ප්‍රදේශයට හේවාහැට, හඟුරන්කෙත, වලපනේ සහ නුවරඑළියේ කොටසක්ද ඇතුළත් ය) ප්‍රදේශවාසීන්ගේ බලවත් ඉල්ලීම අනුව ඔහු 1943 නුවරඑළිය ආසනයට තරග කළ හෙයිනි.
1948 කම්කරු සහ සමාජ සේවා පාර්ලිමේන්තු ලේකම් (වත්මන් නියෝජ්‍ය අමාත්‍ය) ලෙස ද 1950 කම්කරු සහ සමාජ සේවා ඇමැති ලෙසත් සේවය කළ මෙතුමා, 1952 අධ්‍යාපන ඇමැති ලෙසත් 1960 ආහාර, කෘෂිකර්ම, ඉඩම් සහ වෙළෙඳ අමාත්‍ය ධුරයත්, 1965 – 1970 කාලයේ ආහාර හා කෘෂිකර්ම ඇමැති ධුරයක් දරමින් දැවැන්ත ජාතික සේවාවක් ඉටු කළේය. මෙම වකවානුවල බණ්ඩා මහතා අමාත්‍යවරයෙක් වශයෙන් සිදුකළ ජාතික මෙහෙවර සමාලෝචනය කරන කල්හි පැහැදිලිව පෙනෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ක්‍රියාකාරකම් හැමවිටම පොදුජන කේන්ද්‍රීය පිවිසුමකින් සිදුවූ බවයි. සේවක අර්ථසාධක අරමුදල (EPF) 1958 නීති ගත කළ නමුදු එහි රාමුව සංකල්පනීයකරණය සිදු වූයේ බණ්ඩා මහතා කම්කරු සහ සමාජ සේවා ඇමැති ධුරය හෙබවූ සමයේ බව අප්‍රසිද්ධ මුත් සත්‍ය කරුණකි. මෙම අරමුදල පිහිටුවීමේ ප්‍රධානතම අභිප්‍රාය වූයේ රටේ සියලුම සේවාවන්හි නියැලෙන්නන්ට විශ්‍රාම සාධාරණත්වය (retirement justice) ලබාදීමය. මෙහිලා සඳහන් කළ යුතුම තවත් කරුණක් වන්නේ මෙම අරමුදල හඳුන්වා දුන් පළවැනි ආසියාතික රට ශ්‍රී ලංකාව බවයි.

එම්. ඩී. බණ්ඩා මහතා අධ්‍යාපන ඇමැතිව සිටි 1952 – 1956 කාලයේදී සිදුවූ විශාලතම පෙරළිය නම් කන්නන්ගර නිර්දේශ වලට අනුව ස්ථාපිත මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය වඩා අංගසම්පූර්ණව පිහිටුවීම සහ ස්වභාෂා (සිංහල – දමිළ) අධ්‍යාපනය පුළුල් කිරීම මගින් අධ්‍යාපනයට සියලු දෙනාටම සාධාරණ ප්‍රවේශයක් හිමි වීමය. සංඛ්‍යා දත්ත මූලාශ්‍රයන්ට අනුව, 1952 රජයේ පාසල් අසූ නමයක් තිබූ අතර, 1956 වනවිට මෙම සං්‍යාව තුන්සිය නවයකට ඉහළ ගියේය. රජගේ සහාය ලත් පාසල් දෙසිය හතළිස්පහක් 1952 තිබූ අතර මෙය දෙසිය අනූ හතක් දක්වා 1956 වන විට ඉහළ ගිය අතර සම්පූර්ණ පාසැල් සංඛ්‍යාව (මධ්‍ය මහා විද්‍යාල ඇතුළුව) තුන්සිය තිස්හතරේ සිට හයසියය දක්වා එම්. ඩී. බණ්ඩා මහතා අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේ ඉහළ ගියේය. මෙම වකවානුව තුළ පාසැල්හවලට ළමුන් ඇතුළත් කිරීමේ අනුපාතය උපත් අනුපාතයට වඩා ඉහළ ගිය බව මහාචාර්ය ස්වර්ණා ජයවීර තම ‘Education in Sri Lanka – Fifty Years Since Independence’ යන ලිපියෙන් පවසන්නීය. මහාචාර්ය ජී. එච්. පීරිස් පවසන පරිදි “එම් ඩී. බණ්ඩා අධ්‍යාපන ඇමැති ධුරය දැරූ වසර හතරක කාලය ලංකාවේ විධිමත් අධ්‍යාපන ඉතිහාසයේ තීරණාත්මක අවධියක් විය” (මහාචාර්ය ජී. එච්. පීරිස්ගේ ලිපියක පරිවර්තනයකි). මෙම නිරීක්ෂණයට ඉහත පැවසූ හේතූන්ට අමතරව තවත් සාධකයක් විය හැක්කේ ලංකා විශ්වවිදයාලය පේරාදෙණියේ ස්ථාපිත කිරීමත් මේ සමයේ සිදුවීමය.

1960 කෙටි කලක් පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ආහාර, කෘෂිකර්ම, ඉඩම් සහ වෙළෙඳ ඇමැති වශයෙන් ද ප්‍රධාන වශයෙන් 1965 – 1970 සමයේ ආහාර හා කෘෂිකර්ම ඇමැති වශයෙන් ද සේවය කරන කල්හි මෙතුමා තම දේශපාලන දිවියේ කේන්ද්‍රීය අවස්ථාවකට පැමිණ තිබූ බව උපකල්පනය කළ හැකිය. මෙම වසර පහ තුළ එතුමා අඹේවල කිරිපිටි කම්හල, පොළොන්නරුවේ තමන්කඩුව ප්‍රදේශයේ නැවුම් කිරි සැකසීමේ කම්හල, වැලිසර කිරිපිටි කම්හල ආදිය දියත් කර කිරි ගොවීන්ට තම ජීවනෝපාය නවීකරණය කර ගැනීමට ඉඩ සැලැස්සුවේය. එසේම මෙම සමයේ වැදගත්ම කාර්ය වූයේ එ.ජා.ප. රජයෙන් දියත් කළ “වගා සංග්‍රාමයයි”. මෙහි අති විශිෂ්ට සාර්ථකත්වය හේතුවෙන් ආසියාතික සංවර්ධන බැංකුවේ 1970 වාර්තාවට අනුව, ලංකාව අන් සියලු ආසියාතික රටවල් අභිබවා වී නිෂ්පාදනය කළ අතර, මෙම පෙරළියේ පුරෝගාමියා වූ බණ්ඩා මහතාගේ නිපුණත්වය සහ ප්‍රවීණත්වය හඳුනා ගත් පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) මෙතුමා එහි අධයක්ෂක මණ්ඩලයට පත් කළේ ලංකා රජයේ කෘෂිකර්ම ඇමැති වශයෙන් නොව එම්. ඩී. බණ්ඩා නම් පුද්ගලයා වශයෙනි. එහෙයින් 1970 එ.ජා.ප. රජය පරාජය වූ විට ද බණ්ඩා මහතා IRRI හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කළේ ඔවුන්ගේ ඉල්ලීම මතය.

මතුරට (1947 – 1960), හඟුරන්කෙත (1960 – 1965) සහ පොල්හහවෙල (1965 – 1970) මැතිවරණ කොට්ඨාශයන්ට බණ්ඩා මහතා තරග කළ අවස්ථාවන්හි ලියැවුණු ඡන්ද ප්‍රචාරක අත් පත්‍රිකා සලකා බලන කල්හි පෙනී යන්නේ එතුමා ඒ එක් එක් ප්‍රදේශයේ සහ එහි වැසියන්ගේ අවශ්‍යතා හොඳින් තේරුම් ගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළියම් යෙදීමට උපරිමයෙන් කැප වූ බවයි.
පොදු ජනයාගේ යහපත සහ සුබ සිද්ධිය වෙනුවෙන් මෙතරම් කැපකිරීම් කර, තමාගේ පුද්ගලික ධනය, ඉඩකඩම් පවා පාසැල් තැනවීම සඳහා ආදිය පරිත්‍යාග කළ මෙවැනි උතුම් ජන නායකයකු මහජන ඡන්දයකින් පරාජය වීම ඛේදජනකය. විශ්වාස කළ නොහැකි තරම් පුදුම සහගතය. පරාජයේ දී පවා ඔහු සතු මහඟු ගුණාංයන් වන අවංක බව, ඍජු බව, නිර්ව්‍යාජ බව, හා සත්‍යගරුක බව විද්‍යාමාන විය. එම්. ඩී. බණ්ඩා මහතාට පොල්හහවෙල ජනතාව 1970 දුන් තීන්දුව ඉතා නිහතමානීව භාර ගත් එතුමා සියලු රජයේ තනතුරුවලින් වහා ඉවත් විය. මෙවැනි අති දුලබ දේශපාලනික නායකයන් පිළිබඳ මතකය නැවත නැවත අවදි කිරීම වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසාය. එනම් එවැන් දුර්ලභ ගණයේ චරිත ඇසුරෙන් සහ ඔවුන් රට වෙනුවෙන් සිදුකළ මහඟු සේවාවලින් පෝෂිත අපේ ඉතිහාසය තුළින් අපට උගත හැකි දේ සහ ලබා ගත හැකි ආදර්ශ අපමණ නිසාය. දෙවනුව, මෙවැනි ශ්‍රේෂ්ඨ උතුමන්ට කෘතගුණ දැක්වීම අපගේ වගකීමක් වන නිසාය.
● ඩී. එස්. කරුණාතිළක
Saru FM Media