තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි කියයි

0
8

වත්මන් ආණ්ඩුවේ අරමුණ දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් සහ ගෞරවාන්විතව සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම ආරම්භක උත්සවයකට එක්වෙමිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2,162කට අධික මුදලක් ආයෝජනය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්,කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (09) අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය‍.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැලසීමට අපේක්ෂිතය.

“දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ​​ඉදිරි මාස 15 ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිතය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අංග කිහිපයකි.

ඒ අතර සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නවීන ස්වයංක්‍රීය ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධති හඳුන්වාදීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට බාධාවකින් තොරව ගමන් කළ හැකි වන පරිදි නවීන විදුලි සෝපාන (Lifts) සහ ගුවන් පාලම් පද්ධති ඉදිකිරීම, මගී ආරක්ෂාව තහවුරු කෙරෙන නව ගොඩනැගිලි සංකීර්ණ සහ උසස් ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සිදු කෙරේ. 

​මෙම ව්‍යාපෘතිය නිමාවීමත් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගී කේන්ද්‍රීය, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here