දැනට පවතින අධි ආරක්ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කර බලා අවශ්‍යතාවය පරිදි එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පසුගිය හතවෙනිදා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කරුණු දක්වමින් ජනාධිපතිවරයා, අධි ආරක්ෂිත කලාප යනු ස්වාභාවිකව පවතින සීමා නොවන බවත් ඒ හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වයන් සලකාබැලීමෙන් අනතුරුව එම අධි ආරක්ෂිත කලාප සීමා වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ පුද්ගලික ඉඩම් නැවත එම ජනතාවටම ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ ගැටලු සඳහා ද ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේය.
එහිදී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආරක්ෂක කඳවුරු හා විවිධ කටයුතු සඳහා පවරාගෙන ඇති ජනතාවගේ පෞද්ගලික ඉඩම් නැවත ඔවුන්ටම ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවය.
එමෙන්ම නැවත ලබාදිය හැකි පෞද්ගලික ඉඩම් ලබාදීමටත්, එලෙස ලබාදීමට අපහසුතා පවතින ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ වැදගත්කම එහි දී ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.
තවද රජයේ ආර්ථික කටයුතු සඳහා ආරක්ෂක කඳවුරු පවතින ප්‍රදේශවල ඉඩම් කොපමණ ප්‍රමාණයක් යොදාගත හැකිද යන්න සොයා බලා වාර්තා කිරීමටද ඒ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
තවද මෙම කාරක සභා රැස්වීමේදී 2026.04.09 දින පාර්ලිමේන්තු අනුමතියට ඉදිරිපත් කිරීමට නියමිත (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ඉදිරිපත් කළ නියෝග සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු කෙරිණි.
Saru News















