අනුර බෑ කියයි! සජිත්ට එන්න කියයි! රනිල්ව හලයි! නාමල්ට කැදවීමක්! බිමල් හිටියෙ නැත්තේ ඇයි? මෝදි අනුරපුරේ ගිය රහස! ට්‍රම්ප්ට යවපු ලියුම! කිසිම පත්තරයක නොයන අතිවිශේෂ රාජ්‍ය රහස් හෙළිදරව්ව!  I Sri Lanka Latest News

0
21


අප්‍රේල් 5ම තෝරගත්තේ ඇයි?

කාදිනල් හිමියන් 22 එළියට බහිනවා!

ආණ්ඩුවේ ලොක්කො බෑ කිව්වේ ඇයි?

අප්‍රේල් 5ම ගත්තේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණ සිය 54 වැනි අප්‍රේල් විරු සමරුව සැමරුවේ පසුගිය 05 වැනිදා අනුරාධපුරයේදීය. වෙනදා නම් ඊට ජවිපෙ ජ්‍යෙෂ්ඨ නායකයන් අනිවාර්යයෙන්ම සහභාගි වන නමුත්, මෙවර ඊට සහභාගි වී සිටියේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පමණි. අනෙකුත් නායකයන් ඊට සහභාගි වී නොතිබුණේ ඒ වනවිටත් කොළඹ කේන්ද්‍ර කරගෙන දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත් වෙමින් පැවැතීම නිසාය. නැතහොත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වී දෙරට අතර ගිවිසුම් අස්සන් තැබීමට යොදාගෙන තිබුණේ අප්‍රේල් 05 වැනි දිනටය.Sri Lanka Latest News

අප්‍රේල් 05 යනු ඉන්දියාවටත්, ජවිපෙටත් අතිශය තීරණාත්මක දිනයකි. ජවිපෙ විරු සමරුව සිදුකරනු ලබන්නේ 1971 කැරැල්ලේදීත්, 88-89 කැරැල්ලේදීත් දිවිපිදූ පක්ෂයේ සාමාජිකයන් සිහිකොටය. මෙම සිදුවීම් දෙකටම ඉන්දියාවේද විශාල සම්බන්ධකමක් තිබේ. 71 කැරැල්ලේදී ජවිපෙ ආණ්ඩු විරෝධය පමණක් නොව, ඉන්දියන් ව්‍යාප්තවාදයට එරෙහිව දැවැන්ත විරෝධයක් රට පුරා ගෙන ගියේය. 88-89 කැරැල්ලේදී ප්‍රධාන මාතෘකාවක් ලෙස ජවිපෙ යොදාගත්තේ දෙරට අතර අස්සන් තැබූ ඉන්දු-ලංකා ගිවිසුමත්, ඒ හරහා 13 වැනි සංශෝධනය යටතේ පිහිටුවූ පළාත් සභා ක්‍රමයත්ය. ඒ අනුව 88-89 කැරැල්ලේද ඉන්දීය විරෝධය දැඩිව රට පුරා ගෙන යෑමට ජවිපෙ පියවර ගෙන තිබිණි. මේ කැරැලි දෙකේදීම 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ අතර, එය සිහිපත් කිරීම සඳහා ජවිපෙ අප්‍රේල් විරු සමරුව මහත් ඉහළින් පවත්වනු ලබයි. දෛවයේ සරදමක් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් ඇතුළු තවත් ගිවිසුම් රැසක් අස්සන් තැබීම සඳහා යොදාගනු ලැබුවේද ජවිපෙ ඉන්දියන් විරෝධය මුල්කොට ගෙන ඝාතනයට ලක්වූ බව කියන සිය සාමාජිකයන් සමරන අප්‍රේල් 05 වැනිදාමය.

එමෙන්ම මෝදි ලංකාවට පැමිණියේද ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අර්බුද රැසකට ලංකාව මුහුණ දෙමින් සිටියදීය. එක් පසෙකින් ඇමෙරිකානු ජනාධිපති ලෝකෙම ඉලක්ක කර පනවනු ලැබූ තීරුබදු හේතුවෙන් ආසියාකරයේ කොටස් වෙළෙඳපොළවල් දිනෙන් දින කඩාවැටෙන තත්ත්වයක් මතුව පැවැතියේය. ශ්‍රී ලංකාවට පැනවූ 44%ක තීරුබදු හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දෙන ලකුණු පහළ කොට තිබිණ. එමෙන්ම පසුගිය සඳුදා දිනයේදී කොටස් වෙළෙඳපළ කෝටි 12,000ක පාඩුවක් වර්තා කරමින් දැවැන්ත කඩාවැටීමකටද ලක්විය. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුරදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබීම හේතුවෙන් චීනය සිටින්නේ පොරොන්දු වූ සියලු ණය ආධාර සහ ආයෝජන අත්හිටුවීමට පියවර ගෙනය. ඒ අනුව ආණ්ඩුව මේ දිනවල ඉන්දියාව, ඇමෙරිකාව, චීනය යන රටවල් සමග තුන්කොන් සටනක නිරත වෙමින් සිටින බවක් දැකගන්නට පුළුවන. මීට අමතරව මෝදි ලංකාවට පැමිණියේ සිය සමීපතම හිතවතා වූ ගෞතම් අදානිගේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අත්හිටුවමින් මහත් ආන්දෝලනයකට ලක්වූ අවස්ථාවක වීමද විශේෂ සිදුවීමකි.

එළියට නොආ කතා මෙන්න

ශ්‍රී ලංකාවේ ගත කළ දින දෙකක කාලය තුළ මෝදි සම්බන්ධ සිදුවීම් රැසක් මේ වනවිටත් මාධ්‍ය හරහා එළියට පැමිණ තිබුණද වාර්තා වූ කරුණුවලට වඩා මාධ්‍ය මගින් වාර්තා නොවූ කරුණු රැසක් තිබේ. මෙහිදී කරළියට නොආ ප්‍රධානම කරුණ වූයේ මෝදිගේ සංචාරය මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ යම් මතවාදී ගැටුමක් නිර්මාණය වී තිබීමය. අප මීට පෙරද වතාවන් කීපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කර සිටියේ මාලිමා – ජවිපෙ යන බෙදීමට අමතරව ආණ්ඩුව ඇතුළේ තවත් බෙදීම් කීපයක්ම මතුවෙමින් පවතින බවකි. මෙහිදී මාලිමාව සමග එකතු වීම හරහා ජවිපෙ මෙතෙක් රැකගෙන ආ වාමාංශික ප්‍රතිපත්ති යම් යම් සංශෝධනයන්ට ලක්වුවද, පසුගිය කාලය පුරාම එම වාමාංශික ප්‍රතිපත්ති තවදුරටත් රැකගැනීමේ දැඩි සටනක අමාත්‍ය බිමල් රත්නායක මහතා නිරත වෙමින් සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරයා එළියේ ආණ්ඩුව කරද්දී සභානායකවරයා වශයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව කරගෙන යන්නේ බිමල් බව හැමෝම දන්නා කාරණාවකි. එමෙන්ම බිමල් ඉන්දියාව සම්බන්ධයෙන් එදා සිටම දැඩි මතයක සිටි අයකු වන අතර, පසුගිය දිනෙක යාපනයට ගිය අවස්ථාවකදීද බිමල් ඉන්දීය විරෝධී අදහස් දැක්වීමක නිරත විය. ඒ අනුව බොහෝ දෙනා බිමල්ව හඳුන්වන්නේ ජවිපෙ ඔරිජිනල් මතවාදය නියෝජනය කරන ඉන්දීය විරෝධී චීන නැඹුරුතාවක් සහිත අයකු ලෙසය. බිමල්ගේ මෙම දැඩි ස්ථාවරයට ඇතැම් තැන්වලදී ඉන්දියාවේද අප්‍රසාදය පළනොවුණා නොවේ.

මේ නිසාම පසුගිය කාලයේදී බිමල් සහ අනුර, මාලිමාව සහ ජවිපෙ, වම සහ දකුණ ආදී වශයෙන් ආණ්ඩුව ඇතුළේ යම් යම් මතගැටුම් පැවැතියද එය කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ එළියට ආ බවක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් මෝදිගේ සංචාරයත් සමග එම මතගැටුම පැහැදිලිවම එළියට පැන්න ආකාරයක් දැකගත හැකිව තිබිණි. ඊට හේතු වූයේ මෝදිගේ සංචාරය පුරාම කිසිදු අවස්ථාවක සභානායක බිමල්ගේ මුහුණ දැකගන්නට නොලැබීමය. බිමල් පමණක් නොව, මෝදි ලංකාවේ සිටි දින දෙක තුළ ආණ්ඩුවේ තවත් කිහිප දෙනකුගේ මුහුණු දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමකි.

බිමල්-ලාල් සමන්ත නෑ

සාමාන්‍යයෙන් ලංකාව වැනි කුඩා ඇමැති මණ්ඩලයක් සිටින කුඩා රටකට ඉන්දියාව වැනි දැවැන්ත රටක රාජ්‍ය නායකයා පැමිණීමම යනු සුවිශේෂ අවස්ථාවකි. සාමාන්‍යයෙන් එවැනි රාජ්‍ය නායකයකු පැමිණි විටෙක ආණ්ඩුවේ සියලු කැබිනට් ඇමැතිවරුන් ඔහු පිළිගැනීමේ නිල උත්සවයට සහභාගි වීම සාමාන්‍ය සම්ප්‍රදායය. නමුත් ආණ්ඩුවේ ප්‍රධාන චරිතය වන බිමල් එම අවස්ථාවට එක්ව නොසිටීම නිසා අප ද ඒ සම්බන්ධයෙන් යම් සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ මෝදි ලංකාවට පැමිණීමට පෙරම බිමල් පෞද්ගලික සංචාරයක් යැයි කියමින් රටින් පිටව ගොස් ඇති බවය.

බිමල්ට අමතරව ඇමැති ලාල්කාන්තද මෝදි ලංකාවේ සිටි දින දෙක තුළ දැකගන්නට ලැබුණේ නැත. ඒ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී දැනගන්නට ලැබුණේ ලාල්කාන්ත ජනාධිපතිවරයා හමුවී හෝ දුරකතන ඇමතුමක් ලබාදී හෝ තමන් සාමාන්‍යයෙන් එවැනි උත්සව අවස්ථාවන්ට සහභාගි නොවන බව දැනුම් දී ඇති බවය. ඊට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී ඇති බවක්ද ආරංචිය. බිමල්, ලාල්කාන්තට අමතරව ආණ්ඩුවේ තවත් චරිතයක්ද මෝදි පැමිණි කිසිදු උත්සවයකට සහභාගි වී සිටියේ නැත. ඒ, අමාත්‍ය සමන්ත විද්‍යාරත්නය. එහිදී සමන්ත සහ ජනාධිපතිවරයා අතරද යම් සංවාදයක් සිදුව ඇති අතර, එහිදී සමන්ත ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමන් එම අවස්ථාවන්ට සහභාගි නොවී සිටින්නම් යැයි කියාය. මන්ද යත් අතීතයේදී ඉන්දියාවට එරෙහිව සමන්ත කළ ප්‍රකාශ බොහොමයක් පවතින නිසා යම් හෙයකින් හෙතෙම මෙම උත්සවයන්ට සහභාගි වුවහොත් සමාජ මාධ්‍යවල එම ප්‍රකාශ ප්‍රචාරය වනු ඇති බවට සමන්තට මතුවූ සැකයක් ඊට හේතු වුණා විය හැකිය. මේ කොයි ආකාරයකින් අර්ථ දැක්වූවද ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ අවස්ථාවේ සිට ඔහු ලංකාවෙන් පිටව යන අවස්ථාව දක්වාම බිමල්, ලාල්කාන්ත සහ සමන්ත විද්‍යාරත්න කිසිදු අවස්ථාවකට සහභාගි නොවීම හරහා මෝදිගේ පැමිණීම මුල්කරගෙන යම් මතගැටුමක් ආණ්ඩුව ඇතුළේ පැවැති බව නම් හොඳ හැටි පැහැදිලිය.
අනෙක් කාරණය වන්නේ බිමල් මෙසේ අඩියක් පස්සට ගෙන මෝදි හමු නොවීමේ පසුපස ඇති අරමුණ කුමක්දැයි කියාය. බිමල් එසේ කොට ඇත්තේ ඉදිරි වසර ඇතුළත ජවිපෙ ඇතුළේ සිදුවීමට නියමිත දැවැන්ත වෙනසක් මුල්කරගෙන බව ආරංචිය. අපට ඇති ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ලබන වසරේදී ජවිපෙ ප්‍රධාන ලේකම් තනතුර භාරගැනීමේ අරමුණෙන් බිමල් පසුවන බවකි. සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂවල ප්‍රධානම තනතුර වන්නේ පක්ෂ නායක ධුරය හෝ සභාපති ධුරය හෝ නොව, පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරය. ආණ්ඩු බලය ගත්තද වඩාත් ප්‍රබල වන්නේ පක්ෂයේ මහලේකම් ධුරය දරන තැනැත්තාය. ඒ අනුව දැඩි වාමාංශික මතධාරියකු වන බිමල් තවදුරටත් සිය මතය ආරක්ෂා කරගනිමින් පක්ෂයේ ඉහළම තනතුර භාරගැනීම සඳහා දුන් සංඥාවක් ලෙස බොහෝ දෙනා මෙය සලකනු ලබයි.

චීන තානාපතිත් අනුර හමුවේ

කෙසේ වෙතත් මෝදිගේ ලංකා ගමනට පෙරාතුව ඉන්දියාවේ පසමිතුරකු ලෙස සැලකෙන චීනයද ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත වී තිබිණි. ඊට චීනය පැත්තෙන් සහභාගි වී තිබුණේ මෙරට චීන තානාපතිවරයා වන කී ෂෙන් හොන්ය. ඉතා තීරණාත්මක හමුවක් වූ මෙහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ චීන-ලංකා සබඳතාවලට බලපානු ලබන ප්‍රධාන මාතෘකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවකි. පසුගිය ආණ්ඩු කීපයකදීම චීනය මෙරට ආයෝජන සිදුකොට තිබූ අතර, චීන රජය නියෝජනය කරමින් එරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක්ම කොන්ත්‍රාත් පදනම යටතේ මහාමාර්ග, අධිවේගී මාර්ග, වරාය වැනි ව්‍යාපෘති ඒ යටතේ සිදුකිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ලංකාව පසුගිය කාලයේ මුහුණ දී තිබූ මූල්‍ය අර්බුදය හේතුවෙන් එම සමාගම් කිසිවකටත් නිසි අයුරින් මුදල් ගෙවීම සිදුකොට නොතිබිණි. පසුගිය ආණ්ඩු කාලයේ අවස්ථා කීපයකදී කොටස් වශයෙන් මේවායේ ගෙවීම් සිදුකොට තිබුණද වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු එම ගෙවීම් සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගෙන තිබිණි. මේ හේතුවෙන් චීනය විසින් සිදුකරනු ලැබූ සියලු ආයෝජන ව්‍යාපෘතිද අත්හිටුවීමට කටයුතු කොට තිබිණි. එම නිසා චීන තානාපතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ වහාම එම මුදල් ගෙවා අවසන් කරන්නැයි කියාය.

නමුත් මෙහිදී ජනාධිපතිවරයා ලබාදී ඇත්තේ චීනය කිසිසේත්ම බලාපොරොත්තු වූ පිළිතුරක් නම් නොවේ. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම ව්‍යාපෘතිය හරහා යම් යම් පිරිස් විශාල වශයෙන් වංචා දූෂණ සිදුකොට ඇති බවකි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් පවත්වමින් සිටින බවත්, යම් යම් මුදල් ගෙවීමට නිකුත් කළ වවුචර්වල පවා දැවැන්ත මූල්‍ය වංචා සිදුව ඇති බවට අනාවරණ වී ඇති නිසා එම මුදල් ගෙවීමට මෙම අවස්ථාවේ නොහැකි බවත්ය.

ජනාධිපතිවරයාගේ මෙම පිළිතුරෙන් චීන තානාපතිවරයා දැඩි නොසතුටට පත්ව ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව ඔහු නැවත ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ඒ අයුරින් හිඟ මුදල් නොගෙවුවහොත් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ආයෝජනවලට පවා එය අහිතකර ලෙස බලපානු ඇතැයි කියාය. නමුත් ජනාධිපතිවරයා පෙර සිටි ස්ථාවරයේම හිඳ පිළිතුරු ලබාදී ඇති බවක්ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ ආකාරයට ආණ්ඩුව චීනය සමග යම් ගැටුමක් ඇතිකරගෙන චීන සබඳතාවන්ගේ යම් පළුදුවීමක් සිදුවුවහොත් එය ඍජුවම බලපාන්නේ වෙන කාටවත් නොව ඇමැති බිමල්ටය. මන්ද මහාමාර්ග සහ අධිවේගී මාර්ග යන විෂයන් සියල්ලම ඇත්තේ බිමල්ගේ විෂය පථයන් යටතේය. යම් හෙයකින් චීනය මහාමාර්ග ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම අත්හිටවුවහොත් එය ඍජුවම බලපාන්නේ බිමල්ටය. ලොකුම අපහසුතාවට පත්වන්නේ බිමල්ය. ඒ අනුව ඉදිරියේදී චීනය සහ වම වෙනුවෙන් බිමල් විසින් සටනක් දියත් කරනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

රනිල් ලොකු ට්‍රයි එකක් දෙයි

මීට අමතරව මෝදිගේ සංචාරයේදී දැකගන්නට ලැබුණු තවත් විශේෂම සිදුවීමක් වූයේ ඔහු නිල හමුවීම් යොදාගත් ආකාරයය. මෙහිදී ජනාධිපතිවරයා අතුළු ආණ්ඩවේ මැති ඇමැතිවරුන් හමුවීමට අමතරව විපක්ෂය පැත්තෙන් මෝදි මුණගැසුණේ එකම එක නියෝජිතයකු පමණි. ඒ, වෙන කවුරුවත් නොව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. සාමාන්‍යයෙන් මෝදි ලංකාවේ සංචාරය කළ සෑම අවස්ථාවකදීම උතුරු-නැගෙනහිර සහ වතුකරයේ දෙමළ නියෝජිතයන් හමුවීම සිරිතක් ලෙස කරන්නකි. මෙවරද එය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යමින් උතුරු-නැගෙනහිර සහ වතුකරයේ දෙමළ නායකයන් හමුවීමට මෝදි පියවර ගත්තේය. මීට අමතරව මෝදි හමුවූ විපක්ෂයේ එකම නියෝජිතයා වන්නේ සජිත්ය.

පසුගිය කාලසීමාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉන්දියාවේ සහාය තමන්ට පවතින බව පෙන්වීමට නොයෙක් දේ කරමින් විශාල වෙහෙසක් ගත්තේය. පසුගිය කාලය පුරාම රනිල් රටට පේන්න විවිධ මාධ්‍ය උපයෝගී කොටගෙන තමන් මෝදිගේ ළඟම හිතවතකු බව පෙන්වීමට විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කොට තිබිණි. නමුත්, ජනතාව මෙහි ඇත්ත නැත්ත නොදන්නවා වුවද, අප නම් මුල සිටම රනිල් යනු කිසිදු ජාත්‍යන්තර සබඳතාවක් නොමැති, තමන් ජාත්‍යන්තර දේශපාලකයකු ලෙස බොරු චරිතයක් මවාගෙන සිටින්නකු බව දැන සිටියේය. ඒ නිසා අප අවස්ථා රැසකදීම රනිල්ගේ මෙම බොරු චරිතය රටට පෙන්වීම කටයුතු කළේය. ගෝඨාගේ කාලයේදී රට අර්බුදයට ලක්වෙද්දී රනිල් ජනාධිපති ධුරය ගත්තේ තමන්ට විශාල ජාත්‍යන්තර සබඳතා පවතින බවත්, ඒ හරහා ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව, යුරෝපය වැනි රටවලින් තමන්ට ආධාර ගෙනැවිත් රට ගොඩදැමිය හැකි බවත් කියමිනි. එක් අවස්ථාවක රනිල් ගෝඨාට කියා සිටියේ තමන් බලයට පැමිණි වහාම ජපානයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් ලැබීමට නියමිත යැයි කියාය. නමුත් අප ඒ දිනවලම රාජ්‍ය රහස් තීරයෙන් කියා සිටියේ ඩොලර් බිලියන 4ක් තියා රනිල්ට ජපානයෙන් එකදු ඩොලරයක් හෝ නොලැබෙන බවකි. අප කී ආකාරයටම රනිල් බලයේ සිටි අවුරුදු දෙක තුළ ජපානයෙන් කිසිදු උදව්වක් ලංකාවට ලැබුණේ නැත. එමෙන්ම ඇමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් රනිල්ට ආධාර කළේ නැත. ඉකුත් කොවිඩ් අර්බුද සමයේදී ඉන්දියාව අවස්ථා දෙකකදී ලංකාවට ආධාර කළ අතර, එක් අවස්ථාවක ඩොලර් බිලියන 4කින් ආධාර කිරීමට ඉන්දියාව කටයුතු කළේය. ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ සිටි ලාංකිකයන්ට තෙල්, ගෑස්, බෙහෙත් කඩිනමින් ලබාගැනීමට හැකිවූයේ ඉන්දියාව ලබාදුන් ඒ ආධාර මුදලට පින් සිදුවන්නටය. නමුත් ඒ ආධාර මුදල ලබාගත්තේ රනිල් නොව එවක මුදල් අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂය. චීනයද ලංකාවට ආධාර කළ අතර, ඒ ආධාර ලැබුණේ මහින්ද රාජපක්ෂට පින් සිදුවන්නටය. අයි.එම්.එෆ්. ගිවිසුම සකස් කිරීමේදී අමෙරිකාව ලංකාවට උදව් කළ අතර, එම වැඩකටයුතු පසුපස සිටියේද බැසිල් රාජපක්ෂය. ගෝඨාභය බලයෙන් පහවන විට බැසිල් මුදල් අමාත්‍යවරයා වශයෙන් අයි.එම්.එෆ්. ගිවිසුම සකස් කොට තිබූ අතර, ඉතිරිව තිබුණේ ඊට අස්සන යෙදීම පමණකි. රනිල් කළේ ඊට අස්සන යොදා එහි ලකුණු ටික තමන්ගේ ගිණුමට දමාගැනීමය.

මීට අමතරව පසුගිය කාලය පුරාම රනිල් තමන් මෝදිගේ සමීපතමයකු ලෙස පෙනී සිටීමටද පියවර ගත්තේය. පසුගියදා දිල්ලියේ පැවැති සමුළුවකට ගිය අතරවාරයේදී විනාඩි දෙකකට මෝදි හමුවී ඔහු සමග සිටින ඡායාරූප මාධ්‍යයේ පළකරවාගෙන තමන් මෝදිගේ ළඟම යහළුවකු බව රටට පෙන්වා දුන්නේය. ඒ හරහා රනිල්ගේ උත්සාහය වී තිබුණේ මෝදි සමග ගනුදෙනු කරන එකම චරිතය තමන් පමණක් බව රටට පෙන්වීමටය. මීට අමතරව මෝදිගේ අතිශය සමීපතමයකු වන අදානි රටින් පිටව යද්දී රනිල් අදානි වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළේද තමන් මෝදිගේ හිතවතකු බව රටට පෙන්වීමටය. නමුත් මේ සියල්ල සැබෑ තත්ත්වය නොව, රනිල්ගේ මෝඩ චූන් බව අප දැන සිටියා පමණක් නොව, වරින් වර ඒ බව වාර්තා කිරීමටද අපි පියවර ගත්තෙමු. රනිල් මේ සියලු දේවල් කළේ වෙන මොකවත් නිසා නොව මෝදිගේ ලංකා ගමන අතරතුරදී කෙසේ හෝ මෝදි හමුවී ඔහුත් සමග එකට සිටින ඡායාරූප මාධ්‍යයේ පළකරවා ගෙන ‘මම තමයි එකම පොර’ යනුවෙන් රටට පෙන්වීමටය. කවුරු ලංකාවේ බලය හෙබවූවත් ඉන්දියාව තමන්ට සලකන බව රටට පෙන්වීමටය.

රනිල්ට මෝදි වෙලාව නොදෙයි

ඒ අනුව මෝදි ලංකාවට පැමිණෙන දින තීන්දු වීමත් සමග පාර්ශ්වයන් කීපයක් හරහාම රනිල් උත්සාහ කළේ ලංකාවේදී මෝදි හමුවීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමටය. නමුත් ඒ හැම තැනකදීම රනිල්ට ලැබුණු පිළිතුර වූයේ කාර්යබහුල කාලසටහනක් පැවැතීම හේතුකොට ගෙන රනිල්ට වේලාවක් වෙන් කිරීමට නොහැකි යැයි කියාය. මෝදි ලංකාවේදී හමුවන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සහ උතුරු නැගෙනහිර වතුකරයේ දෙමළ නායකයන්ට අමතරව විපක්ෂයේ එකම එක් අයකු පමණක් බවත්, ඒ සජිත් ප්‍රේමදාස බවත් මේ පාර්ශ්වයන් රනිල්ට දැනුම් දී තිබිණි.

සජිත්ට කලින්ම දැනුම් දෙයි

සජිත් සමග මෝදිගේ හමුව ඉන්දීය බලධාරීන් විසින් තහවුරු කොට සිටියේ හරියටම මීට සති දෙකකට ඉහතදීය. එමෙන්ම මෝදිගේ ලංකා ගමනට සතියකට පෙර නැවතත් සජිත්ට ඇමතුමක් දුන් ඉන්දීය බලධාරීන් තවත් විශේෂ ඉල්ලීමක්ද සජිත්ගෙන් කළේය. ඒ, සජිත් සමග සාකච්ඡාවේදී වෙනත් කිසිදු නියෝජිතයකු රැගෙන නොඑන ලෙසත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සජිත් සමග පමණක් මුහුණට මුහුණ තනිව කතාකිරීමට අවශ්‍යව ඇති බවත්ය.

සාමාන්‍යයෙන් විදෙස් තානාපතිවරයකු හෝ රාජ්‍ය නායකයකු හමුවීමේදී සජිත්ගේ පුරුද්දක් වී ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ තරුණ නායකයන් කිහිප දෙනකුද ඊට රැගෙන ගොස් ඔවුන්ටද විදෙස් සබඳතා ගොඩනගා ගැනීමේ ඉඩ ප්‍රස්ථා ලබාදීමය. මේ බව දැන සිටි නිසාදෝ ඉන්දියාව පැත්තෙන් තනිවම මෝදි අගමැතිවරයාට සජිත්ව මුණගැසීමට අවශ්‍ය බව බලධාරීන් විසින් කියා සිටීමෙන් පැහැදිලිවම විශේෂ පණිවුඩයක් සජිත්ට ලබාදීමේ අවශ්‍යතාවක් ඇති බව දැකගත හැකිව තිබිණි. එය එක්තරා ආකාරයකට ඉන්දියාවෙන් දැකගන්නට ලැබෙන විශේෂ සිදුවීමකි. ඒ අනුව එම දැනුම්දීමෙන් වැඩිදුරටත් කියැවුණේ සෙනසුරාදා සවස 3ට ටාජ් සමුද්‍රා හෝටලයේදී සජිත් හමුවීමට ඉන්දීය අගමැතිවරයා සූදානමින් සිටින බවත්, විනාඩි 25ක කාලයක් ඒ සඳහා වෙන්කොට ඇති බවත්ය.

ඒ අනුව සෙනසුරාදා දිනයේ හරියටම සවස 3 වනවිට සජිත් ටාජ් සමුද්‍රා හෝටලයට තනිවම පැමිණියේ මෝදි මුණගැසී සාකච්ඡා කිරීමටය. එහිදී ඉතා උණුසුම් අයුරින් සජිත් පිළිගත් මෝදි සජිත් සමග අතිශය වැදගත් දේශපාලන කරුණු කාරණා රැසක්ම සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙහිදී මෙම සාකච්ඡාව මෝදිට කෙතරම් වැදගත් වූවාද කියනවා නම් අතිශය කාර්යබහුල කාලසටහනක් මැද්දේ සජිත්ට වෙන්කොට තිබූ විනාඩි 25ක කාලසීමාව විනාඩි 40ක් දක්වා දිගු කිරීමටද මෝදිට සිදුවිය.

මෝදි සජිත්ගෙන් අහපු ප්‍රශ්නය

මෙහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එක් අවස්ථාවකදී මෝදි සජිත්ගේ මුහුණටම ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්නයක් අසා ඇති බවය. ‘ඔබ හිතන ආකාරයට මම සහ ඉන්දියාව මේ වෙලාවේ ලංකාවට මොනවද කරන්න ඕනේ?’ යනුවෙන් මෙහිදී මෝදි සජිත්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී මෝදි කුමන පිළිතුරක් බලාපොරොත්තුවෙන් එය කළාද යන්න පැහැදිලි නැතත්, දෙවරක් නොසිතා ගත් කටටම සජිත් ඊට දුන් පිළිතුරෙන් මෝදිගේ ඇස් උඩ ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

‘ලංකාව මේ වනවිට අසීරු කාලයක් පසුකරමින් ඉන්නේ. දැන් තියෙන වාතාවරණ්‍ය අනුව ඉදිරියටත් අසීරු කාලසීමාවක් එන්නයි යන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ රටට කරන්න පුළුවන් උපරිම උදව්වක් කරන්න කියලයි. මොකද කොරෝනා අර්බුදය ඇවිත් රට බරපතළ අර්බුදයකට වැටුණු වෙලාවේ අපේ සහායට හිටපු එකම රට ඉන්දියාවයි. ඒ වෙලාවේ ඔබතුමා දීපු සහාය නොවන්න අපිට මේ තරම් ඉක්මනට ගොඩඑන්න බෑ. ඒක මම මගේ දේශපාලන ජීවිතයේ කිසිම දවසක අමතක කරන්නේ නෑ. ඒකට අපි කෘතගුණ සලකනවා. දැනුත් ලංකාවට එන්න යන්නේ ඒ වගේ අසීරු කාලසීමාවක්….’ යන්න එහිදී සජිත් දුන් පිළිතුර විය.

සජිත් මේ ආකාරයට විපක්ෂ නායක ධුරයේ සිටිමින් රට වෙනුවෙන් කතා කරනු දුටු මෝදි මහත් පුදුමයට පත්විය. මන්ද යත් ඒ මොහොතේ අවස්ථාවාදී, තමන් ගැන පමණක් සිතන විපක්ෂ නායකවරයකු සිටියේ නම් නියත වශයෙන්ම රටට ආධාර නොකරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටිනු ඇති බව මෝදි සිතා සිටියද, ඒ ලැබුණු පිළිතුරෙන් මෝදි මහත් පුදුමයට පත්විය.
එමෙන්ම තවත් ඉල්ලීමක් කරමින් සජිත් මෝදිට දැනුම් දී සිටියේ මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති අධික තීරුබදු හේතුවෙන් ලංකාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බවත්, ඒ නිසා ලංකාවේ ඇඟලුම්වලට ඉන්දියාවෙන් ලබාදී ඇති කෝටාව ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසත්ය. මීට අමතරව තවත් විශේෂ කරුණු ගණනාවක්ම මෙහිදී දෙදෙනා අතර සාකච්ඡාවට ලක්ව ඇති බවත්, ආරංචිය.

සජිත් මෝදි පුදම කරවයි

කෙසේ වෙතත් සාකච්ඡාව අවසන් වීමට ඔන්න මෙන්න කියා තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, මෝදිට සමරු තිළිණයක් වශයෙන් සජිත් රැගෙන ආ ඡායාරූපය පිළිගැන්වීමේදීය. එම ඡායාරූපයේ සිටියේ එක් ඇසක් නිල් පැහැයෙන් බබළන විල්පත්තුවේ සිටින කොටි දෙනකි. සජිත් සාමාන්‍යයෙන් පරිසරයට ආදරය කරන, නිතරම අලියා, කොටියා වැනි සතුන් ඡායාරූපයට නගන පරිසර හිතකාමී දේශපාලනඥයකු ලෙස ප්‍රකටය. ඒ නිසාම දේශපාලනයේදී විවේකයක් ලැබුණු වහා සජිත් යාල, විල්පත්තුව වැනි කැලෑවල විශාල ප්‍රමාණයේ කැමරාවක්ද කරේ දමාගෙන සිටින ආකාරය නිතර දැකගන්නට ලැබෙන්නකි. මෝදිද එසේමය. මෝදිද සැලකෙන්නේ පරිසර හිතකාමී, වනයට, ගහකොළට, සතා සීපාවාට ආදරය කරන දේශපාලනඥයකු ලෙසය. මෝදි එසේ කැලෑවල ගතකරන වාර්තාමය වැඩසටහන් ලෝ ප්‍රකට ඩිස්කවරි චැනලයේ ඕනෑ තරම් දැකගත හැකිය. විශේෂයෙන් ඉන්දියන් කොටියා පිළිබඳ මෝදිට ඇත්තේ විශාල උනන්දුවකි.

මේ නිසාමදෝ තමන් විසින් විල්පත්තුවේ සිටින මේ කොටි දෙනගේ ගත් ඡායාරූපයක් මෝදිට තෑගි කළ සජිත්, එම කොටි දෙන පිළිබඳ විශේෂ විස්තරයක්ද මෝදිට සිදුකළේය. එහිදී මෝදි විමසා සිටියේ මේ කොටි දෙන තවමත් සිටිනවාදැයි කියාය. තමන් අවසන් වරට සිදුකළ විල්පත්තු සංචාරයේදී මේ කොටි දෙන දැකගන්නට නොලැබුණු බව සජිත් එහිදී මෝදිට දැනුම් දී සිටියේය. කෙසේ වෙතත් සජිත් මේ දුන් ත්‍යාගයෙන් මහත් සතුටට පත් මෝදි, මෙවර සංචාරයේදී කාලවේලාව නොමැති නිසා සිය ඊළඟ සංචාරයේදී ලංකාවේ වනජීවීන් සහ කැලෑ නැරඹීමට කටයුතු කරන බව සජිත්ට දැනුම් දී සිටියේය.

මෝදිගෙන් විශේෂ ආරාධනාවක්

ඒ අනුව සාකච්ඡාව අවසන් කොට සජිත් නැගී සිටීමට සූදානම් වෙද්දී මෝදි සජිත්ට විශේෂ දැනුම්දීමක් කිරීමට පියවර ගත්තේය. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මෝදි කල්තියාම සජිත්ව තනිවම මුණගැසීමට අවශ්‍ය බව දැනුම් දී ඇත්තේ මේ විශේෂ දැනුම් දීම සිදුකිරීමේ අරමුණෙන් යැයි කියාය. ඒ අනුව සජිත් නැගී සිටි වහා මෝදි සජිත්ගේ අතට අත දී කියා සිටියේ දිල්ලියේ සංචාරය කිරීම සඳහා තමන් සජිත්ට විශේෂ ආරාධනාවක් කරනවා යැයි කියාය. එහිදී සාකච්ඡා මේසයේ සිටි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙස බලමින් මෝදි කියා සිටියේ ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ලෙසය. සජිත් හා මෝදි හමුවේ තිබූ විශේෂම සිදුවීම වූයේ එයය.

එම ආරාධනාව ඉහළින්ම පිළිගත් සජිත් සාකච්ඡාව අවසන් කොට පිටතට පැමිණෙද්දී මෝදි හමුවීමට ඊළඟට පැමිණ සිටි පිරිස වූ උතුරු නැගෙනහිර දමිළ ජාතික මන්ත්‍රීවරුන් සජිත්ට දැකගන්නට හැකි විය. ඔවුන්ට 3.25 ලෙස වේලාව ලබාදී තිබුණද ඒ වනවිටත් විනාඩි 15ක් ප්‍රමාද වී සවස 3.40ද පසුව තිබීම නිසා සජිත් දුටු සුමන්තිරන් සිනාසෙමින් විහිළුවට මෙන් කියා සිටියේ ‘ආ.. ඔබතුමාට ඉන්දීය අගමැතිතුමා ලොකු පිළිගැනීමක් දීලා වගේ…’ යැයි කියාය. සජිත්ද ඊට සිනාවකින් සංග්‍රහ කිරීමට පියවර ගත්තේය.

ආණ්ඩුවෙනුත් ආරාධනාවක්

මෝදිගේ සංචාරයේ ඊළඟ විශේෂම සිදුවීම දැකගන්නට ලැබුණේ මෝදි වෙනුවෙන් ජනාධිපතිවරයා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය සහිත නිල උත්සවයේදීය. සාමාන්‍යයෙන් එවැනි නිල උත්සවයකට ආරාධනා කරනු ලබන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අමතරව විශේෂම අමුත්තන්ට පමණි. ඒ අනුව ඊට සහභාගි වන ලෙසට ආණ්ඩුව පැත්තන් විපක්ෂ නායක සජිත්ටද ආරාධනාවක් ලැබිණි. මෝදි වෙනුවෙන් පැවැති එම උත්සවයේදී විපක්ෂය පැත්තෙන් ආරාධනා ලැබ තිබූ එකම දේශපාලන නායකයා වූයේ සජිත් පමණි. කෙසේ වෙතත් සජිත් ඊට සහභාගි වුවද යම් ගැටලුවකට දැකගන්නට තිබුණේ නිල වශයෙන් විපක්ෂ නායක සහභාගි වූ කිසිදු ඡායාරූපයක් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මාධ්‍ය වෙත නිකුත් නොවීමය. එවැනි ඡායාරූපයක් පළකළා නම් එහි වාසිය ආණ්ඩුවට ලබාගන්නට හැකියාව තිබූ නමුත් ඉහළින් එම ඡායාරූපය පළ නොකරන ලෙසට ලැබුණු නියෝගයක් නිසා හෝ හිතාමතාම එම ඡායාරූපය මාධ්‍යයට නිකුත් නොකළ නිසා ආණ්ඩුවට එම වාසිය ලබාගැනීමේ අවස්ථාව මගහැරී ගොස් තිබිණි.

ඒ කොයි හැටි වෙතත් ජනාධිපති මන්දිරයේ පැවැති මෙම උත්සවය අවසාන වනතෙක්ම සජිත් එහි රැඳී සිටීම විශේෂ සිදුවීමක් විය. උත්සවය අවසානයේදී සජිත් පිටව එන්නට සූදානම් වෙද්දී ජනාධිපතිවරයාත්, විජිතත් පැමිණ සජිත්ට අතට අත දී කතා කරන්නට වූහ. එහිදී සජිත් කියා සිටියේ මෝදි සමග පැවැති සාකච්ඡාවට තමන් ලංකාවට ආධාර කරන ලෙසත්, ඇඟලුම් කෝටාව ඉහළ නංවන ලෙසත් මෝදිගෙන් ඉල්ලා සිටි බවය. අනුර එහිදී ගත් කටටම ‘තෑන්ක් යූ සජිත්’ යැයි කියමින් සිය ස්තුතිය සජිත් වෙත පුදකරනු දැකගත හැකි විය.

රනිල්ට කාලා ඉන්න බැරිවෙලා

මේ ආකාරයට මෝදිගේ සිදුවීම් පෙළ දිගහැරෙද්දී තමන්ට මෝදිගේ සංචාරයේ කිසිදු ඉඩක් නොලැබෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල් තියාම දැන සිටියේය. විශ්ෂයෙන්ම සජිත්ට මුහුණට මුහුණ හමුවක් සඳහා ආරාධනා කොට ඇති බව වාර්තා වීමත් සමග එය මනාව තහවුරු වී තිබිණි. එතැන් සිට රනිල් උත්සාහ කෙරුවේ මෝදි හමුවීමට කෙසේ හෝ අවස්ථාවක් උදාකර ගැනීමටත්, කෙසේ හෝ සජිත් හා මෝදි අතර මුහුණට මුහුණ හමුවේ කතාබහට ලක්වන කරුණු කාරණා දැනගැනීමටත්ය. ඒ අනුව රනිල් කළේ සජිත් මෝදි හමුවට සජබය ඇතුළේ සිටින තමන්ගේ ඉත්තෙකු කෙසේ හෝ රිංගවීමටය. ඒ සඳහා රනිල් තෝරාගත්තේ ගම්පහ පැත්තේ සිටින ඉත්තෙකි. ගම්පහ සිටින මේ සජබ ඉත්තා පසුගිය කාලය පුරාම සජබය ඇතුළේ සිටිමින් රනිල්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළ අයකු ලෙස ප්‍රකටය. රනිල් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ විවිධ ඩීල් දමා අයථා අයුරින් මුදල් ඉපයූ අයකු ලෙස ප්‍රකටය. රනිල් නුවරඑළියේ යද්දී පවුල් පිටින් ගොස් රනිල් සමග නිවාඩුව ගත කළ අයකු ලෙස ප්‍රකටය.

ඒ අනුව රනිල් වහාම මෙම සජබ ගම්පහ ඉත්තාට කොන්ත්‍රාත්තුව බාර දෙමින් කියා සිටියේ කෙසේ හෝ සජිත්-මෝදි සාකච්ඡාවට රිංගන ලෙසටය. ඒ අනුව මෙම ගම්පහ ඉත්තාද දන්නා හැම උපායමාර්ගයක්ම භාවිත කරමින් රනිල්ට ඔත්තු දීම සඳහා සජිත්-මෝදි සාකච්ඡාවට රිංගන්නට උත්සාහ ගත්තද කල්තියාම චරිතය කවුද කියා හඳුනාගෙන සිටි සජිත්, ඒ ඉත්තාගේ ලණු කෑමට කටයුතු කළේ නැත. ඒ අනුව මෙම ඉත්තාගේ සටකපට උපක්‍රම ගැන සජිත් ඇතුලු සජබ ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට සිටින්නේ හොඳ අවබෝධයකින්ය.

රනිල් ගහපු ඊළඟ ගැටය

කෙසේ වෙතත් ගම්පහ සජබ ඉත්තාට භාරදුන් කොන්ත්‍රාත්තුව හරිගියේ නැති බව දැනගත් රනිල් කෙසේ හෝ මෝදි හමුවීම සඳහා ඊළඟ තුරුම්පුවත් ගැසුවේය. ඒ අනුව රනිල් පළමුව ගියේ හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා මුණගැසීමටය. මෙසේ චන්ද්‍රිකාගේ ගෙදරට ගිය රනිල් හිටපු ජනාධිපතිවරුන් වශයෙන් තමන්ට මෝදි හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට චන්ද්‍රිකා එකඟ කරගනු ලැබීය. අපට තහවුරු කරගන්නට නොහැකි වුවත් රනිල් හිටපු ජනාධිපති මහින්දටද මේ සම්බන්ධයෙන් කතා කොට තිබූ බවක් සමාජ මාධ්‍ය ජාලවල වාර්තා කොට තිබිණි. නමුත් අසනීප තත්ත්වය හේතුවෙන් මහින්ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබූ බවද එම වාර්තාවල සඳහන් විය. ඊට අමතරව තකහනියක්ම රනිල් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවෙසටද ගොස් මෝදි හමුවීම සඳහා එක්ව ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට මෛත්‍රීට යෝජනා කළේය. නමුත් මෛත්‍රීගෙන් ඊට එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඒ අනුව රනිල් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉදිරිපත් වන ආකාරයට එම යෝජනාව ඉන්දීය බලධාරීන්ට ඉදිරිපත් කළද් ඊටද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු තැන රනිල් කළේ අඩුම තරමින් හමුවීමට වේලාවක් ලබාදිය නොහැකි නම් ‘සූම්’ සාකච්ඡාවක් ලබාදෙන ලෙසට හෝ කියමින් ඉන්දීය බලධාරීන් හමුවේ ආයාචනා කිරීමය. නමුත් රනිල්ගේ එම ඉල්ලීමට හෝ මෝදිගේ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් හිමි නොවීම විශේෂ සිදුවීමකි.

නාමල්ට එන්න කියලා!

මේ අයුරින් රනිල්ට මෝදිගෙන් මිනින්තුවක හෝ වෙලාවක් නොලැබුණද පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ නාමල් රාජපක්ෂට පසුගිය සතියේ ඉන්දියාවෙන් විශාල පිළිගැනීමක් ලැබී තිබීම විශේෂිතය. නවදිල්ලියේ පැවැති සමුලුවකට නාමල්ට ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබී තිබූ අතර ඊට මෝදිද එක්ව සිටිනු දැකගත හැකිවිය. එහිදී නාමල් හා මෝදි අතර හමුවක්ද සිදුවිය.

ඇයි මෝදි අනුරාධපුරේ ගියේ?

මෝදිගේ සංචාරයේ අවසන් භාගයේදී තවත් විශේෂ සිදුවීම් කීපයක්ම වාර්තා විය. ඉන් එක් සිදුවීමක් වූයේ මෝදි ලංකාවෙන් පිටවූ ආකාරයය. සාමාන්‍යයෙන් විදෙස් රාජ්‍ය නායකයකු ලංකාවට පැමිණෙන්නේ නම් ඔහු හෝ ඇය පැමිණිය යුත්තේත්, ලංකාවෙන් පිටවිය යුත්තේත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගුවන් තොටුපළකින් පමණි. ඒ අනුව යමින් මෝදි ලංකාවට පැමිණියේ කටුනායක ගුවන් තොටුපළ හරහාය. නමුත් මෝදි ලංකාවෙන් පිටව ගියේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම ආකාරයකටය. එනම් මෝදි ලංකාවෙන් පිටවූයේ මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස සැලකෙන කටුනායකින් හෝ රත්මලානෙන් නොවේ. මෝදි පිටව ගියේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් තොටුපළෙනි. එය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නොවේ. එසේ නම් මෝදි ජාත්‍යන්තර නොවන ගුවන් තොටුපළකින් ලංකාවෙන් පිටව ගියේ කෙසේද?

මේ බව හොඳින්ම දැන සිටි ආණ්ඩුව ඒ සඳහා ඉතා සූක්ෂ්ම උපායක් භාවිත කිරීමට පියවර ගත්තේය. එනම්, පැය 24කට පමණක් අනුරාධපුර ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත්කොට චක්‍රලේඛයක් නිකුත් කිරීමය. නමුත් එහිදී තවත් ගැටලුවක් පැනනැගිණි. ඒ, එවැනි ගුවන් තොටුපළකින් ගුවන් යානා ගුවන්ගත කිරීමට නොහැකි වීමය. නමුත් එවැන්නකින් හෙලිකොප්ටර් යානා ගුවන්ගත කිරීමට හැකියාව තිබේ. ඒ අනුව මෝදි ඉන්දියාවේ සිට ලංකාවට ඉන්දීය ගුවන් සේවයට අයත් යානාවක පැමිණියද, අනුරාධපුරයෙන් පිටව යෑම සඳහා මෝදි වෙනමම ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. එම යානයට අමතරව තවත් පරිවාර හෙලිකොප්ටර් තුනක්ද ඒ අනුව අනුරාධපුරයට පැමිණියේය.

හේතුව රාම්-සේතු පාලම

මෝදි මේ අයුරින් ලංකාවෙන් පිටව යෑමට අනුරාධපුරයම තෝරාගත්තේ ඇයි? එම කතාව පසුපසද මහා විශාල කතාවක් තිබේ. මෝදි හෙලිකොප්ටර් යානයකින් අනුරාධපුරයෙන් පිටව තලෙයිමන්නාරම හරහා කලින් සැලසුම් කළ පරිදි ඉන්දියාව බලා ගමන් කළේ උඩු ගුවනේදී අතීතයේ ඉන්දියාව ලංකාව යාකළ ඓතිහාසික මුහුදු මාර්ගය දැකබලා ගැනීම සඳහාය. වර්තමානයේදී මෙය මුහුදු මාර්ගයක් ලෙස පැවැතියද අතීතයේදීද ඉන්දියාව සහ ලංකාව යා කළ ගොඩබිම් මාර්ගයක් විය. පුරාවෘත්තවල සඳහන් වන්නේ මෙම ගොඩබිම් මාර්ගය ඔස්සේ ඉන්දියාවේ රාමා, සීතා සොයා ශ්‍රී ලංකාවට පැමිණි බවය. මෝදිගේ එක් සිහිනයක් වී ඇත්තේ නැවතත් මේ රාම්සේතු මාර්ගය ඉදිකොට ලංකාව සහ ඉන්දියාව යාකිරීමය.

අනෙක මෝදි සැලකෙන්නේ උග්‍ර රාම් බැතිමතකු ලෙසටය. ඒ නිසාම මෝදි අයෝධ්‍යාවේ රාම් කෝවිලක් තැනීමට කටයුතු කළේය. එමෙන්ම රාම්ගේ උපන්දිනය යෙදී තිබුණු බව කියන අප්‍රේල් 06 වැනි දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යාකළ රාම්-සේතු මාර්ගය ඔස්සේ පැමිණියේද රාම්ට ගරු කිරීමක් වශයෙනි.

ඒ අනුව මෝදි අනුරාධපුරයෙන් පිටත්ව ගුවනේ සිට මේ රාම්සේතු මුහුද මාර්ගය නැරඹුවා පමණක් නොව, ඒ මොහොතේම එය වීඩියෝ කොට සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකිරීමටත් පියවර ගත්තේය. ඒ හරහා මෝදි ඉඟි කළේ තමන් තවමත් මේ රාම්සේතු මාර්ගය ඉදිකිරීමේ සිහිනයේ සිටින බවකි. එමෙන්ම ලංකාවෙන් පිටවූ වහා මෝදි කෙළින්ම ගියේ දිල්ලියට නොව, රාමේෂ්වරමටය. රාමේෂ්වරමේ ගොඩබැස මෝදි පළමුව කළේ රාම් කෝවිල වැඳපුදාගෙන රාමදර්ශන් පූජාවට සහභාගි වීමය. ඉන් අනතුරුව ඔහු කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යාකෙරෙන ඉන්දියාව පැත්තේ අවසන් දුම්රිය මාර්ගයේ නැවතුම වන පාම්බන් දුම්රිය පාලම විවෘත කිරීමය. ඒ අනුව අප මේ සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවැකියක් ලෙස සටහන් කරන්නේ මෝදි මෙම පාලම ලංකාව දක්වා රාම්සේතු මාර්ගය ඔස්සේ දීර්ඝ කිරීමේ සිහිනයක සිටින බවය. ඔහුගේ මේ වාරය ඇතුළත එම සිහිනය ඉටුකර ගැනීමට හැකිවේද, ඔහු ඒ සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න තවමත් පැහැදිලි නැත.

අනුර නම බෑ කියලා

ලංකාවේ සිටියදී ගිවිසුම් කීපයකට අස්සන් තැබූ මෝදි මෙම පාලම ඉදිකිරීමේ යෝජනාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. නමුත් ජනාධිපතිවරයා ඊට සිය එකඟතාව පළකොට නැති බවක්ද නොනිල වශයෙන් දැනගන්නට ඇත. නමුත් ඊට අදාළ තොරතුරු මෙතෙක් ආණ්ඩුව පැත්තෙන් හෝ ඉන්දියාව පැත්තෙන් එළියට පැමිණ නැත. නමුත් මෝදිගේ සංචාරයේ අවසන් නැවතුම පිළිබඳ සොයාබලද්දී තවමත් මෝදි සිටින්නේ රාම්සේතු මාර්ගය ඉදිකිරීමේ සිහිනයේ බව වටහා ගැනීම අපහසු නැත.

කෙසේ වෙතත් ලංකාව සමග මෝදි ආරක්ෂක ගිවිසුමක් අස්සන් කළ බවට තොරතුරු වාර්තා වීමත් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශ්ව රැසක්ම චෝදනා කරමින් කියා සිටියේ ඉතිහාසයේ පළමු වතාවට කිසිදු රාජ්‍ය නායකයකු නොකළ අයුරින් ජනාධිපතිවරයා ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළඹ ඇති බවය. මේ හරහා ජනාධිපතිවරයා ලංකාව භූ දේශපාලනයේ බරපතළ අර්බුදයකට තල්ලු කොට ඇති බවද ඔවුහු චෝදනා කර සිටියහ. විශේෂයෙන්ම මේ වනවිට ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව එකතුව ‘කොඩ්’ යනුවෙන් ආරක්ෂක සංවිධානයක් බිහිකරගෙන ඇති බවත්, මේ ආකාරයේ ගිවිසුම් ඉන්දියාව සමග අස්සන් කිරීම හරහා ලංකාවද එම කොඩ් සංවිධානයට අදාළ ගිවිසුම්වලට යටත් වන බවත් ඔවුන්ගේ චෝදනා වී තිබිණි.

කෙසේ වෙතත් ලංකාව අස්සන් කළ මෙම ආරක්ෂක ගිවිසුමත් සමග චීනයද මේ වනවිට දැඩි කලබලයට පත්ව සිටින බවක් දැකගන්නට ඇත්තේ ඔවුන්ද ඉන්දියාවට ආසන්නයේ ඇති අනෙකුත් රටවල් සමග අලුත් ගිවිසුම්වලට එළඹෙමින් නව බල සන්ධානයක් ගොඩනගා ගැනීමට සැලසුම් කරමින් සිටින ආකාරයක් වාර්තා වී තිබීම නිසාය. විශේෂයෙන්ම චීනය මේ වනවිටත් පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවක් වාර්තා වේ. මේ රටවල් තුනම මේ වනවිට ඉන්දියාව සමග පසමිතුරු ආකල්පයක සිටීමේ වාසිය ගෙන ඇති චීනය ඔවුන් සමග ඉන්දීය සාගරය කලාපය තුළ ‘කොඩ්’ වැනි බලවත් සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවක් දැකගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකරන බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මේ හරහා ලංකාවද අනිවාර්යයෙන්ම මෙම භූ දේශපාලන සටනේ ගොදුරක් වීම නොවැළැක්විය හැකි යැයි කියාය.

කාදිනල් හිමිගේ ලොකු වෙනසක්

පාස්කු ප්‍රහාරයට වසර 6 පිරෙන්නේ ලබන 21 වැනිදාටය. මීට පෙර රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප මෙම අවුරුදු 6 සමරන දින කතෝලික පල්ලිය විසින් සිදුකිරීමට සූදානම් කර ඇති කොච්චිකඩේ සිට කටුවාපිටිය දක්වා පාගමන පිළිබඳ තොරතුරු පළමු වරට වාර්තා කළෙමු. එමෙන්ම අප කොළඹ අගරදගුරු නිවසේ ඊට සම්බන්ධ විශේෂ සාකච්ඡාව පැවැත්වූ ආකාරයත්, එම හමුව පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පසු රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර වැනි ඉහළ පෙළේ නිලධාරීන් පැමිණ කාදිනල් හිමියන් සමග සාකච්ඡා කළ ආකාරයත්, පාස්කු ප්‍රහාරයට වසර 6 පිරෙන 21 වැනිදාට පෙර ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට නියමිතව ඇති බවත් වාර්තා කළෙමු. ඒ අනුව දැන් ලබන 21 වැනි දිනට කතෝලික පල්ලිය විසින් සිදුකිරීමට සූදානම් වන්නේ කුමක්ද?

පල්ලිය පැත්තෙන් මේ වනවිට එම විරෝධතාවයේ කිසියම් වෙනස්කම් කීපයක් සිදුකොට ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව කොච්චිකඩේ සිට කටුවාපිටිය පල්ලියට විරෝධතා පාගමනක් යනවා වෙනුවට කොටහේන ප්‍රධාන පල්ලියේ සිට කොච්චිකඩේ පල්ලිය දක්වා කෙටි පාගමනක් යෑමට කටයුතු සූදානම් කොට තිබේ. ඉන් පසු පෙරවරුවේ කොච්චිකඩේ පල්ලියේ ප්‍රධාන දේවමෙහෙය පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට සියලු තානාපතිවරුන්ට ආරාධනා කොට ඇති බවක්ද දැනගන්නට ඇත. මෙහිදී කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය ඉලක්ක කොට ගෙන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ. එමෙන්ම එදිනම සවස 4.00ට කටුවාපිටිය පල්ලිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා එහිදීද කාදිනල් හිමියන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

21 වැනි දින පැවැත්වීමට නියමිත මෙම සිදුවීම් මාලාවෙන් අනතුරුව කාදිනල් හිමියන් ඊට පසු දිනම නැගෙනහිර යුරෝපයේ විශේෂ සංචාරයක නිරත වීමට නියමිතය. ඊට අදාළ සියලු කටයුතු සංවිධාන කරනු ලබන්නේ වතිකානයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන කාගේත් ගෞරවාදරයට පාත්‍ර වී සිටින නෙවිල් ජෝ පෙරේරා පියතුමාය. ඒ අනුව මැයි 01 වැනි දින ඉතාලියේ පාදුවා නගරයේ සාන්ත අන්තෝනි බැසිලිකාවේ දැවැන්ත ජන සහභාගිත්වයකින් යුත් දේව මෙහෙයක් පැවැත්වීමට කාදිනල් හිමිපාණන් සැලසුම් කොට ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් දහසකට අධික පිරිසකට ආරාධනා කර ඇති බවක්ද දැනගන්නට තිබේ. එහිදී කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය මුල්කරගෙන ජාත්‍යන්තරයට ගැළපෙන ආකාරයට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවක්ද ආරංචිය. එම ප්‍රකාශයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් නිවැරැදි අයුරින් පරීක්ෂණ සිදුව නොමැති බවටත්, ඉදිරියටද එවැනි පරීක්ෂණයක් සිදුවන බවක් පෙනේනනට නොමැති බවටත් ගම්‍ය වන ආකාරයට කාදිනල් හිමියන් විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

අමෙරිකාවට යැව්වේ කව්ද?

ශ්‍රී ලංකාව ඉලක්ක කොට ඇමෙරිකානු ජනාධිපති පැනවූ 44%ක තීරුබදු බෝම්බයේ රස්නය මේ වනවිටත් ආණ්ඩුව ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවටත්, විපක්ෂයේ දේශපාලකයන්ටත් තදින්ම දැනෙන්නට පටන්ගෙන ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. පසුගිය සතියේ අප අනාවරණ කළේ 10 වැනිදාට ප්‍රථම මෙම බදු පැනවීමේ ප්‍රතිශතයන් වෙනස් කරගැනීමට ආණ්ඩුව සමත් නොවුණහොත් 10 වැනිදායින් පසු ඇමෙරිකාවට නැව්ගත කරන සියලු භාණ්ඩ අත්හිටුවීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනු ඇති බවකි. ඒ හරහා ඇඟලුම් කම්හල් ක්ෂේත්‍රය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක බරපතළ අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවද අපි එහිදී සඳහන් කළෙමු. එමෙන්ම ට්‍රම්ප්ගේ මෙම බදු පැනවීමත් සමග පසුගිය සඳුදා වනවිට ලංකාවේ කොටස් වෙළෙඳපළ දැවැන්ත කඩාවැටීමකට ලක්වූයේ දිනක් ඇතුළත කෝටි 12,000 ඉක්මවූ අලාභයක් වාර්තා කරමිනි. මේ නිසාමදෝ ජනාධිපතිවරයාද පසුගිය සඳුදා ගාල්ලේ පැවැති මහජන රැලියකට එක්වෙමින් කියා සිටියේ මෙම තීරුබද්ද හරහා බරපතළ අවදානමක් මතුව ඇති බවත්, ඊට රටක් වශයෙන් සියලු දෙනාම එක්වී මුහුණ දිය යුතුව ඇති බවත්ය.

ජනාධිපතිවරයා එසේ කීවත් මේ වනවිට විපක්ෂය පැත්තෙන් නැගෙන ප්‍රබල චෝදනාවක් වන්නේ කල්තියාම මෙම අර්බුදය පිළිබඳ ආණ්ඩුවට දැනුම් දී තිබියදීත් ආණ්ඩුව එය කනකට නොගෙන උද්දච්ඡ අයුරින් කටයුතු කළා යැයි කියාය. උදාහරණයක් ලෙස මේ සම්බන්ධයෙන් ලංකාවේ පළමු වතාවට මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කරමින් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉකුත් මාර්තු 02 වැනි දින අතිවිශේෂ වාර්තාවක් ගෙන එමින් කියා සිටියේ ට්‍රම්ප් රජය 50%කට ආසන්න ප්‍රමාණයකින් ලංකාවේ තීරුබදු ඉහළ නැංවීමට සැලසුම් කරමින් සිටින බවකි. අප කළ මෙම අනාවරණයෙන් පසු මාර්තු 18 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම ගැටලුව ගැන ආණ්ඩුවේ අවධානයට යොමුකිරීමට පියවර ගත්තේය. එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ වහාම මෙම තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු නොකළහොත් බරපතළ අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවනු ඇතැයි කියාය. එතැනින් නොනැවතුණු විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවෙන් පිටත අවස්ථා දෙකකදී මේ සම්බන්ධයෙන් අදහස් පළකිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී කළ අදහස් දැක්වීමේදී වහාම ඊට පිළිතුරු දුන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඇමෙරිකාවට කණ්ඩායමක් යැවීමට සූදානම් කොට ඇතැයි කියාය. නමුත් විජිත කී පරිදි එම කණ්ඩායම යැව්වාද, එම කණ්ඩායමට ඇතුළත් වුණේ කවුද, ඔවුන් ඇමෙරිකාවේදී මුණගැසුණේ කවුද, ඔවුන් සාකච්ඡා කළ කරුණු මොනවාද යන්න පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් නොමැති වීම විශේෂ සිදුවීමකි.

ජුලී චන්ග් ආණ්ඩුව රැවැට්ටුවාද?

කෙසේ වෙතත් මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ මාලිමා ආණ්ඩුව අතර පසුගිය කාලයේ පැවැතියේ ඉතා සමීප සබඳතාවකි. එම සමීපකම කොතරම්ද කියනවා නම් බොහෝ තැන්වල කියැවුණේ ජූලි චන්ග් ජනාධිපතිවරයාට බොහෝ කැමැත්තෙන් සිටිනවා යැයි කියාය. අවස්ථා රැසකදීම මාලිමා ආණ්ඩුව සහ ජනාධිපතිවරයාට පක්ෂව ජූලි චන්ග් අදහස් පළකළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එසේම මාලිමා ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා තිරය පිටුපස විශාල වැඩකොටසක් චන්ග් සිදුකළ බවද කියැවිණි. නමුත් මේ වනවිට බොහෝ දෙනා තුළ ඇති ප්‍රශ්නයක් වී ඇත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමග එතරම් සමීප හිතවත්කමක සිටි චන්ග්, ට්‍රම්ප් රජයේ මෙම බරපතළ තීරුබදු පැනවීම පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දීමක් කල්තියා නොකළේදැයි කියාය. විශේෂයෙන්ම මීට සති කීපයකට ඉහතදී ජූලි චන්ග් ඇමෙරිකාව බලා ගොස් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කොට තිබූ නිසා මෙම තීරුබදු ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන නොසිටින්නට ඉඩක් නොමැත. එසේ නම් එය දැන දැනත් චන්ග් එය ජනාධිපතිවරයාට පවසා නොසිටියාද, නොඑසේ නම් එය හිතාමතාම මගහැරියාද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී නම් දැනගන්නට ලැබුණේ මෙවැනි ඉහළ මට්ටමේ තීරුබදු පැනවීමක් පිළිබඳ ආණ්ඩුවට කල් තියා ඉඟි ලැබී තිබුණත්, විශාල වශයෙන් ජූලි චන්ග් මත යැපීම නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ආණ්ඩුවෙන් ගිලිහී තිබූ බවකි. එය ආණ්ඩුවේ නොදැනුවත්කම නිසා වූවක්ද, එසේත් නොමැති නම් පළපුරුද්ද නොමැතිකම නිසා වූවක්ද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් නිල වශයෙන් මෙම බදු පැනවීම සිදුවීමත් සමග බොහෝ කලබලයට පත්ව සිටි ආණ්ඩුව වහාම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කමිටු පැනවීම, සාකච්ඡා පැවැත්වීම, ලිපි ලිවීම ආදිය සිදුකොට තිබිණි. එසේ පැවැති එක් සාකච්ඡාවකදී ඊට සහභාගි වී සිටි ඉහළ පෙළේ ව්‍යාපාරිකයකු විමසා තිබුණේ ඔතරම් හිතවත්කමක් ඇති ජූලි චන්ග් හෝ මේ පිළිබඳ කල්තියා ආණ්ඩුවට දැනුම්දීමක් නොකළේදැයි කියාය. එහිදී ආර්ථිකය සම්බන්ධ ප්‍රබල ඇමැති ධුරයක් දරන ආණ්ඩුවේ නියෝජිතයකු පිළිතුරු දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් චන්ග්ගෙන් කළ විමසීමේදී ‘ඩොන්ට් වොරි, එහෙම දෙයක් වෙන්නේ නෑ’ යනුවෙන් ඇය පැවසූවා යැයි කියාය. එම පිළිතුරට අනුව එක්කෝ ඇමෙරිකාවෙන් චන්ග්ට එවූ පණිවුඩය ලැබී නැතුවා හෝ ආණ්ඩුව දුරදිග නොසිතා චන්ග් මත්තේ යැපීමට ගොස් එම අර්බුදය ඔඩුදුවන තෙක් බලා සිටි බව පැහැදිලිය. එසේ නොවුණා නම් වෙනත් රටවල් වහ වහා ඇමෙරිකාව සමග සාකච්ඡා කරමින් මෙම ගැටලුව විසඳා ගත්තා හා සමානවම මාලිමා ආණ්ඩුවද කටයුතු කළ යුතුව තිබිණි. නමුත් එවැන්නක් සිදුව ඇති බවක් දැනගන්නට නැත.

අනුර ට්‍රම්ප්ට ලියුම් ලියයි

කෙසේ වෙතත් ලබන 10 වැනිදා වනවිට මෙම ප්‍රශ්නය විසඳාගත නොහැකි වුවහොත් තත්ත්වය ඉතා දරුණු විය හැකි බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක්ම ආණ්ඩුවට දැනුම් දී තිබීම නිසා, ආණ්ඩුව වහාම කළේ 09 වැනිදා වනවිට මෙම තත්ත්වය විසඳා ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡාවන් ආරම්භ කිරීමය. ඒ අනුව පළමුවෙන්ම විමසා බැලුණේ අනෙකුත් රටවල් මෙම තත්ත්වය විසඳා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගයන්ය. එහිදී දැකගන්නට ලැබුණේ වියට්නාමය, කාම්බෝජය වැනි ඉහළ මට්ටමේ තීරුබදු පැනවූ රටවල් වහාම ඇමෙරිකාව සමග සාකච්ඡා කොට තම රටවලින් ඇමෙරිකාවේ භාණ්ඩවලට පනවා ඇති තීරුබදු 0%ක් බවට පත්කරන බවට දැනුම් දී ඇති බවය. ඒ අනුව පසුගිය සිකුරාදා වන විටත් ආණ්ඩුව තීන්දු කොට තිබුණේ අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩවලට දැනට 88%ක් වන පරිදි පනවා ඇති තීරුබද්ද 0% දක්වා කපාහැරීමටය. ඒ අනුව එය ජනාධිපතිවරයා විසින්ම විශේෂ ලිපියක් මගින් ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දීමට ද පියවර ගැනිණි.

මීට අමතරව ඉන්දියාව ඇතුළු අනෙක් රටවල් ඇමෙරිකාව සමග පවත්වන වෙළෙඳ ශේෂයේ පරතරය පියවා ගැනීම සඳහා කටයුතු කළ ආකාරයද එහිදී සාකච්ඡාවට බඳුන් වී තිබිණි. එහිදී ඉන්දියාව ඇමෙරිකාවෙන් තෙල් හා ගෑස් මිලදී ගැනීමට තීරණය කොට ඇති බවත්, ඒ හරහා ඇමෙරිකාවෙන් කෙරෙන ආනයන ඉහළ නැංවීමට තීරණය කොට ඇති බවත් කියවිණ. ලංකාවෙන් ඇමෙරිකාව ඩොලර් බිලියන 3ක පමණ භාණ්ඩ මිලදී ගන්නා නමුත් ලංකාව ඇමෙරිකාවෙන් මිලදී ගන්නේ ඩොලර් මිලියන 300කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක් බවද එහිදී කියැවිණි. ඒ අනුව මෙම අගයන් වෙනස් කිරීම සඳහා ඉන්දියාව කළ ආකාරයටම තෙල් සහ ගෑස් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට එහිදී යෝජනා විය.

කෙසේ වෙතත් මෙහිදී තවත් බරපතළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ද අවධානය යොමුවිණි. ඒ, විදුලි ක්ෂේත්‍රයේ පවතින මාෆියාව පිළිබඳවය. ලංකාවේ තෙල්, ගල්අඟුරු, ගෑස් මාෆියාවක් පවතින බවත්, ඇමෙරිකාවෙන් ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට ගියහොත් ඒ සම්බන්ධයෙන් එම මාෆියාවේ විරෝධයක් එල්ල විය හැකි බවත් කියැවිණි. නමුත් රැස්ව සිටි බොහෝ දෙනා එහිදී කියා සිටියේ පළමුව මෙම තීන්දුව ගතයුතු බවත්, ඉන් අනතුරුව පැනනගින ප්‍රශ්නවලට ඒ ඒ අවස්ථාවලදී මුහුණ දිය යුතු බවත්ය. ඒ අනුව සිකුරාදා රාත්‍රියේම මෙම කරුණු ඇතුළත් කොට, ජනාධිපතිවරයාගේ අස්සනින් යුතුව විශේෂ ලිපියක් වොෂිංටනයට යැවිමට කටයුතු කෙරිණි.

දැන් වැඩේ හරි යයිද?

ආණ්ඩුව දැක්වූ මෙම ප්‍රතිචාරයන් හරහා ඇමෙරිකාව, වියට්නාමයට සහ කාම්බෝජයට ලබාදුන් බදු සහනය ලංකාවටත් හිමිවනු ඇද්ද? නමුත් එහිද යම් ගැටලුවක් තිබේ. ඒ ගැටලුව වන්නේ වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවල් ඇමෙරිකානු භාණ්ඩවලට පනවන බද්ද 0% කිරීම හේතුවෙන් බදු සහනයක් හිමිවුවද එම ක්‍රමය අනුගමනය කරමින් තවත් රටවල් 50ක් පමණ කඩිමුඩියේ ඇමෙරිකානු භාණ්ඩවලට පනවන බද්ද 0% බවට පත්කොට එය ඇමෙරිකාවට දැනුම් දී තිබීමය. ඒ අනුව ලංකාව සිටින්නේ එම ලැයිස්තුවේ 50ටත් එපිටිනි. නමුත් ඇමෙරිකාව ලංකාවට කලින් මෙම තීරණය ගත් රටවල් 50 සම්බන්ධයෙන් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත්කොට නැත. ඒ අනුව බොහෝ දෙනා සඳහන් කරන්නේ 09 වැනිදා වනවිට අදාළ බදු සහනය ලංකාවට ලබාගැනීමේ ඉඩකඩක් නොමැති බවකි. බදු පැනවීමෙන් පසු ට්‍රම්ප් වියට්නාමයට සහ කාම්බෝජයට කතාකොට පෞද්ගලිකවම ඔවුන්ගේ බදු අඩුකරන බව සඳහන් කොට තිබුණද, ලංකාව සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් එවැන්නක් සිදුවනු ඇතැයි අනුමාන කළ නොහැකිය. ඒ අනුව දැන් අනුමාන කළ යුතු වන්නේ ලබන 10 වැනිදායින් පසු තත්ත්වය කුමක් විය හැකිදැයි කියාය. විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයෙන් පසු මෙරට ඇඟලුම් කර්මාන්තවලින් ඇමෙරිකාවට යවන ඇඟලුම් නවතාලීමට සිදුවුවහොත් ඒවායේ සේවකයන්ගේ අනාගතය කුමක් වේද, ඔවුන්ට වැටුප් ගෙවන්නේ කෙසේද යනාදී බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට කම්හල් හිමියන්ට සිදුවනු ඇත.

කෙසේ වෙතත් ඇමෙරිකානු ආනයන මත පනවන බදු ප්‍රතිශතය 0% බවට පත්කළද ප්‍රශ්නය එතැනින් අවසන් වන්නේ නැත. එය තවත් ප්‍රශ්න වැලක ආරම්භයක් පමණි. අප එසේ කියන්නේ ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය කරනු ලබන අනෙකුත් රටවල්ද මෙම සිදුවීම පාදක කරගෙන තමන්ගේ භාණ්ඩවලට පනවා ඇති තීරුබදු 0% කරන ලෙස ඉල්ලා සිටීමේ අවදානමක් තිබීමය. විශේෂයෙන්ම අපගේ ඇඟලුම් බහුලව මිලදී ගන්නා යුරෝපය, චීනය, ඉන්දියාව වැනි රටවල්ද නියත වශයෙන්ම ලංකාවෙන් පනවා ඇති තීරුබදු ප්‍රමාණය 0% කරන ලෙසට ඉල්ලා සිටිනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය. එවැනි තත්ත්වයක් මතුවුවහොත් එය රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ඇද දමනවා පමණක් නොව, අපනයන ක්ෂේත්‍රයම අර්බුදයකට ලක්කරවන්නකි. ඇමෙරිකානු භාණ්ඩවලට පනවා ඇති බදු 0% කිරීම ප්‍රශ්නය අවසන් කිරීමක් නොව, තවත් ප්‍රශ්න වැලක ආරම්භයක් වනු ඇති බව අප මුලින්ම කියා සිටියේ එබැවිනි.

අනුර මූල්‍ය අරමුදලට කී දේ

මේ අතරවාරයේ පසුගිය සතියේ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද මුණගැසීමට කටයුතු කළේය. ඒ වනවිටත් බොහෝ දෙනා ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ කාරණාවක් වූයේ රට බංකොලොත් වී ඇති මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාරයෙන් ගොඩ ඒමට උත්සාහ දරන පසුබිමක ඇමෙරිකාව විසින් පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත්තේ මන්දැයි කියාය. ඔවුන් ලංකාවේ තත්ත්වය නිසි අයුරින් වටහාගෙන තිබීම නිසාත්, වොෂිංටනය සමග ඔවුන්ට ඉතා සමීප සබඳකම් තිබීම නිසාත්, මූල්‍ය අරමුදල මගින් ලංකාව ඉලක්ක කොට පනවා ඇති කොන්දේසි සියල්ල පාහේ මේ වනවිටත් ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති නිසාත් ඔවුන්ගේ සහාය ඊට ලබාගත යුතු බව බොහෝ පාර්ශ්වයන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාද මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී ඔවුන්ට අවධාරණය කොට තිබුණේ බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති රටක් වශයෙන් ලංකාව මෙවැනි තීරුබද්දකට මුහුණ දෙන්නේ කෙසේදැයි කියාය. ඉදිරි වසරේදීත් ආණ්ඩුවට බරපතළ මූල්‍ය ඉලක්කවලට ළඟාවීමට තිබෙන නිසා වහාම ඇමෙරිකාව සමග සාකච්ඡා කොට මෙම තීරුබදු ප්‍රතිශතයන් අවම කිරීමට උත්සාහ කරන ලෙසත්, එසේ නොවුණහොත් ලංකාව වැනි කුඩා රටක් ඊට මුහුණදීගත නොහැකිව බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පෙන්වා දුන්නේය. ඊට මූල්‍ය අරමුදලෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

මහින්දට වෙච්ච දෙයක්

පසුගිය සතියේ සමාජ මාධ්‍යවල විශාල අවධානයක් දිනාගත් පුවතකින් කියැවුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම රෝහල්ගත කොට ඇති බවකි. මීට පෙරත් අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේම පුවත් පළවීම නිසා ඇතැමුන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළද තවත් පිරිසක් වහ වහා මෙම පුවතේ සත්‍යතාව කුමක්දැයි සොයා බැලීමට කටයුතු කළ බවක් දැකගන්නට ලැබිණි. මීට සති දෙකකට ඉහතදී මහින්දගේ පාදයේ සැත්කමකට ඔහු රෝහල්ගත කළ බවට රාජ්‍ය රහස් තීරයේම පුවතක් වාර්තා කිරීම නිසා වහ වහා අපිද ඒ ගැන සොයාබැලීමක් කිරීමට පියවර ගත්තෙමු.

කෙසේවෙතත් මහින්දගේ මේ පාදයේ ආබාධය මතුවූයේ අද ඊයේ නොවේ. මීට වසර කීපයකට පෙරාතුව සිටම මහින්දගේ දණහිසේ ආබාධය වරින් වර මතුවෙමින් තිබිණි. ඒ අනුව මීට වසර දෙකකට ඉහතදී බි්‍රතාන්‍යයේ ජීවත් වන සුප්‍රකට ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු විශේෂ ගුවන් යානයකින් ලංකාවට ගෙන්වා, කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී එක් දණහිසක සැත්කමක් කරගැනීමට මහින්ද කටයුතු කළේය. එහිදී අනෙක් දණහිසේ සැත්කමද කරගන්නා ලෙස මහින්දට දැනුම් දුන්නත්, මහින්ද ඒ අවස්ථාවේ එකඟ වූයේ එක් පාදයක දණහිසේ සැත්කම කිරීමට පමණි. ඒ අනුව සති ගණනාවක් රෝහල්ගතව සිටි මහින්ද සුවය ලබා නිවෙසට පැමිණියද, අනෙක් දණහිසේ ආබාධයද වරින් වර මතුවීම හේතුවෙන් ඔහු ගමන් කළේ කාගේ හෝ උපකාරය සහිතවය.
ඒ අනුව මහින්ද මෙවර තීන්දු කොට තිබුණේ තමාගේ අනෙක් දණහිසේ සැත්කමද සිදුකර ගැනීමටය. බොහෝ දෙනා එම සැත්කම සිංගප්පූරුවට ගොස් සිදුකරගන්නා ලෙස හෝ මුල් සැත්කම සිදුකළ බි්‍රතාන්‍යයේ සිටින ලාංකික වෛද්‍යවරයා ගෙන්වා සිදුකරගන්නා ලෙස උපදෙස් දුන්නද, මහින්ද තීන්දු කළේ මෙරට සිටින ප්‍රකට වෛද්‍යවරයකු ලවා එම ශෛල්‍යකර්මය සිදුකර ගැනීමටය. ඒ අනුව පසුගිය සතියේ එම දණහිසේ ශෛල්‍යකර්මයද සාර්ථකව මහින්ද සිදුකරගෙන තිබුණු අතර, වෛද්‍ය උපදෙස වී තිබුණේ මාස කිහිපයක් ගතවන තුරු ප්‍රවේශමෙන් විවේකීව කාලය ගතකරන ලෙසය. පසුගිය සතියේ හදිසියේම සමාජ මාධ්‍ය ජාලවල මහින්ද රෝහල්ගත වී ඇති බවට පළවූ පුවතේ නිධාන කතාව මෙම සිදුවීම් පෙළය.

කෙසේ වෙතත් මේ දිනවල මහින්ද සිටින්නේ විවේක සුවයෙන් යුතුව විජේරාම නිවසේ කල් ගතකරමිනි. ඒ අනුව හොඳ හැටි කෑම බීම වැටීම නිසා මහින්ද තරමක් මහත් වී, සුදු වී, ලස්සන වී ඇති බවක්ද මහින්දගේ සුවදුක් බැලීමට යන එන අය කියන කතාවකි.

කපිල පුංචිමාන්නගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here