සියලුම රජයන් අභිබවමින් මෙවර අයවැයෙන් වැඩිම මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට – ඇමති නලින්ද 

0
19


අතීතයේ පැවති සියලු ම රජයන් අභිභවමින් වැඩි ම මුදලක් මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වත්මන් රජය වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

වයඹ පිළිකා සංගමයේ පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ “අශිංසා මැඳුර” ASHINSA MADURA, (Cancer Home) නමින් ඉදිකිරීමට යෝජිත සත්මහල් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිරි සැලැසුම් පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළා.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම මූලික කරගනිමින් ඉදිකිරීමට යෝජිත මෙම ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහළ ඇතුළු ව පළමු මහල වයඹ පිළිකා සංගමය මගින් අංග සම්පූර්ණව ඉදිකර දීමට යෝජිතයි.

ඉතිරි මහල් ඉදිකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සම්බන්ධීකරණයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ඉදිකිරීම් සඳහා ද යම් මූල්‍ය දායකත්වයක් ලබා දීමට වයඹ පිළිකා සංගමය මෙහි දී කැමැත්ත පළ කර සිටියා.

පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් 120 දෙනෙකුට සුවපහසු නේවාසික ප්‍රතිකාර පහසුකම් මෙමගින් ලැබෙන අතර රෝගී කුඩා දරුවන්ට මෙන් ම පූජ්‍ය පක්ෂයට ද නේවාසික ප්‍රතිකාර ගැනීමේ පහසුකම් මෙම ගොඩනැගිලි සංකීර්ණයෙන් සැලසීමට යෝජිතයි.

සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 1.2 මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර පළමු අදියර යටතේ ඉදිවන බිම් මහල සමඟ පළමු මහල සඳහා රුපියල් මිලියන 455 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර ‌දේශීය සහ විදේශිය පරිත්‍යාගශීලීන්ගේ මුල්‍ය පරිත්‍යාගවලින් ඉදිකිරීම් සිදුකිරිමට සැලසුම් කර ඇති අතර පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භකර වසර දෙක හමාරක් තුළ අවසන් කිරීමට ද යෝජිතයි.

පිරිමි සහ කාන්තා පාර්ශවය සඳහා වෙනම වාට්ටු, ආහාර අනුභවය සදහා වෙනම පරිශ්‍ර, නේවාසික රෝගී කාමර පහසුකම්, වෛද්‍යවරුන් සඳහා නේවාසික පහසුකම් මෙන් ම නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරයක් ද මෙම සංකීර්ණයේ සැලසුමට ඇතුළත් වෙනවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතීතයේ පැවැති සියලුම රජයන් වෙන්කළ මුදලට වඩා වැඩිම මුදල් ප්‍රමාණයක් මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වත්මන් රජය වෙන් කිරීමට පියවර ගත් බව ද පැවසුවා.

වත්මන් රජය එම මුදල් නිසිලෙස කලමණාකරණය කරමින් අවශ්‍යතාවයත් මනාව තේරුම් ගනිමින් ක්ෂේත්‍රෙය් ප්‍රගමණය උදෙසා යෙදවීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here