අසෙනිගෙනුයි – නෙත්මිගෙනුයි යාන්තමට බේරුණ ඔස්ට්‍රේලියාව

0
7

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 09, කොළඹ LNW:

මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ අසෙනි තලගුණේ සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නෙත්මි උපේක්ෂා පන්දුවෙන් දක්වන ලද දස්කම් නිසා අවසාන මොහොතේ ඔස්ට්‍රේලියාව පරාජයේ ආසන්නයටම කැඳවා යන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.අසෙනි එංගලන්තයට එරෙහි තරගයේදී මෙන්ම මේ තරගයේදී ද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 42 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් වෙනවා.එසේම නෙත්මි උපේක්ෂා අවසාන මොහොතේ පන්දු යවන්නට කැඳ වූ අවස්ථාව තව ඉක්මන් වූවානම් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමේ හැකියාවත් ශ්‍රී ලංකාවට තිබුණු බව සිතිය හැකියි.ඇය පන්දු ඕවර් 4 ක් යවා ඉන් දෙකක්ම නොයිදුල් ඕවර් බවට පත් කරමින් ලකුණු 5 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වෙනවා.

අප නෙත්මිගේ පමාව නොසළකා හැරියත් ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම මැනවින් සිඳු වුණානම් ඔස්ට්‍රේලියාවට මේ තරගය ජය ගන්නට වන්නේ නැහැ.ගිලිහී ගිය උඩ පන්දු අතරින් තීරණාත්මක අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ ලකුණු 21 ට කඩුලු 3 ක් වීමට තිබුණු ඉඩ මඟ හැරීමයි.එම ලකුණු ප්‍රමාණයේදී චමෝදි හේරත්ගේ පන්දු ඉදිරියේ අසෙනි තලගුනේ අතින් මෙන්ම චමුදි ප්‍රබෝධා අතින් ඇයගේම පන්දුවට ලැබුණු උඩ පන්දුවත් රැක ගත්තානම් තත්ත්වය ඔස්ට්‍රේලියාවට අවාසිදායක වන්නට තිබුණා.

එහෙත් අඩුපාඩු නැතුවම නොවුණත් ලාබාල නෙතගි ඉසුරාංජලී කඩුල්ල පිටුපස සිට කාර්යයනම් සුවිශේෂ කර සැළකිය යුතු වෙනවා.බොහෝ වේලාවක් පන්දු යැවීමට අනුව ස්ලිප් හී පන්දු රැකීමට රඳවා සිටි සංජනා කාවින්දිගේ පන්දු රැකීමේ ඉරියව්ව තුළ දෙදනට දෑත තබාගෙන සිටීම මූලික දැණුමට අනුව සිඳු නොවිය යුතු වුව ද ඇය එම කාර්යයේ නියැළුණේම එම ඉරියව්වෙන් බව කිව යුතුයි.ඊට හේතුව පෙර නොව එම මොහොතේ හෝ පුහුණු කාර්ය මණ්ඩලය ඒ ගැන ඇයව දැනුවත් නොකිරිමයි.ඇය අතින් ගිලිහී ගිය උඩ පන්දු සමහර විට ආසන්න අවස්ථා ද විය හැකි වුවත්,එම ඉරියව්ව ද ඒවා අසාර්ථක වීමට බලපාන කරුණුයි.
කෙසේ නමුදු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉන්දිරා පනෙල්ලි ලබා ගත් ලකුණු 59 ත්,අවසාන මොහොතේදී තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හැරී තිබියදී පරාජය වෙනුවට ජයග්‍රහණය කරා ගෙන යාමේ වගකීම ඉටු කරමින් ඇලීසා ඩෙර්මෝඩි නොදැවී ලබා ගත් ලකුණු 39 ත් වගකිව යුතු දක්ෂ ඉණිම් ය.

ශ්‍රී ලංකාව ලකුණු 174 ට මෙපිටින් නැවතීමට තිබුණ ඉඩ වෙනස් කළේ ශ්‍රී ලංකාවේ අවසාන කඩුල්ලට ලකුණු 32 ක් එක් කරමින් යෙසලි ජිතාරා (16) සහ අවසන් පිතිකරුවා ලෙස පැමිණ නොදැවී ලකුණු 20 ක් එක් කළ චමෝදි හේරත්ගේ ඉණිම් ය.ශ්‍රී ලංකා ඉණීමේ වැඩිම ලකුණුලාභියා වූයේ විමෝක්ෂා බාලසූරිය ය.ඉතාම සැහැල්ලුවෙන් පහර දෙමින් සිටියදී ශෂින් ගිම්හානි දුවද්දී දැවී නොගියානම් ඔස්ට්‍රේලියාවට මීට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක අභියෝගයක් ලබා දෙන්නට ඉඩ ලැබෙන බව පැහැදිළිිය.ඇය ඒ වන විට ලබා සිටි ලකුණු 19 ට ත් හතරේ පහර තුනක් එල්ල කර හොඳින් ආරක්ෂාව සහ ආක්‍රමණය මුසු ඉණිමක් ගොඩ නඟමින් සිටියාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 50 ක් කරා යන එක ඉණිමක් එකතු වුණානම් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට ඉලක්කය මේ තරම් දෙගිඩායාව සහිත දිනීම හෝ පැරදීම ගැන නිශ්චිත විශ්වාසයක් ඇති තැනකට නොයන්නට තිබිණ.කෙසේ නමුත් පරාජය වුව ද තරගය අත් නොහැර අවසාන කඩුල්ල දක්වාම කොයි අත තරගය පෙරළේද කිව නොහැකි තැනකට ගෙනෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතාවය අගනේය.එසේම මේ කණ්ඩායම පළාත් අටකම නියෝජනය සහිතව මොණරාගලට නායකත්වයක් ලැබෙමින් තිබීම හරහා ඔප්පු කෙරුණේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජනගතව සිව් අතට විසිරෙමින් තිබෙන මොහොතක් බවය.නිවැරදි ක්‍රමයකට අනුව පියෙන් පිය ජාතික 19 න් පහළ කණ්ඩායම තෙක් පැමිණි ගමන පැහැදිළි කරන මේ ප්‍රගති වාර්තාවක් බඳු ජයට අනාගතයේදී තවත් ජය ලකුණු පහළ වේවා යන්න පරාජය වූ කණ්ඩායමට අපි කරන ප්‍රාර්ථනය වන්නෙමු.

ඡායාරූපයේ දැක්වෙන්නේ ස්ලීප් හී පන්දු රැකීමේදී ඇය සිටින ඉරියව්වය.එය නිවැරදි නොවන්නේය.

The post අසෙනිගෙනුයි – නෙත්මිගෙනුයි යාන්තමට බේරුණ ඔස්ට්‍රේලියාව appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here