හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (08) මේ බව ප්‍රකාශ කර තිබේ.
චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද එම යෝජනා කෙටුම්පත නිල වශයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වෙත යොමු කර ඇතැයි ද ඇය එහිදී සඳහන් කළාය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මීට පෙර බහරේන රජය විසින් ඉදිරිපත් කළ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවට චීනයත් රුසියාවත් විරෝධය දැක්වීමෙන් එය සම්මත නොවිණ.
අනතුරුව චීනයත් රුසියාවත් එක්ව වත්මන් මැදපෙරදිග තත්ත්වය හා සාගර ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් නව කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බව එම රටවල එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයින් දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වෙත පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය පවසා ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සඳහා බාධා එල්ලවීමට මූලික වී ඇත්තේ අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නීති විරෝධි යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බවය.
එබැවින් හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අදාළ ගැටලු විසඳා ගැනීමේ මූලික පියවරක් බවත්, ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු බවත් Mao Ning මහත්මිය එහිදී පවසා ඇත.
එමෙන්ම ආරක්ෂක මණඩලයේ පැවති ඡන්ද විමසීමේදී චීනයේ ස්ථාවරය සාධාරණ මෙන්ම යුක්ති සහගත වූ බවත් එය ඓතිහාසික නිරීක්ෂණයකට ලක්විය හැකි බවත් ඇය අවධාරණය කර තිබේ.
චීනය හා රුසියාව ඒකාබද්ධව ඉදිරිපත් කර තිබෙන නව කෙටුම්පත් යෝජනාව ගැටුම්කාරී තත්ත්වය ලිහිල් කිරීම, සංවාද හා සාකච්ඡා පැවැත්වීම මෙන්ම නාවික ගමනාගමනය පිළිබඳ අයිතිවාසිකම් හා නිදහස සහතික කිරීම යන කරුණු සඳහා කැපවන බවත්, ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට අනුකූල වන බවත් එය සාධාරණ මෙන්ම යුක්ති සහගත වන බවත් Mao Ning මහත්මිය මෙහිදී සඳහන් කළාය.
එමෙන්ම පවතින තත්ත්වය හැකි ඉක්මණින් ලිහිල් කර හෝමූස් සමුද්‍ර සන්ධිය හා මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය අදාළ පාර්ශ්වයන් සමග එක්ව අඛණ්ඩව කටයුතු කරනු ඇතැයිද Mao Ning මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන් වේ.
Saru News
















