තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබී තිබු තොරතුරු හේතුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් පිරිනමනු ලබන හැම්පර්ස්, තෑගි වවුචර් පත් පිරිනැමීම ද සිදුනොකළ යුතු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාරගැනීම ද සිදුනොකළ යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
එසේම බාහිර පාර්ශ්වයන් හෝ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් යුතුව සිය පොලිස් ස්ථානවල සිංහල අලුත් අවුරුදු සාද පැවැත්වීම ද නොකළ යුතු බව පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන්.
පොලිස් ස්ථානවල සිදුකරන අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් එක් පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් 250ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.
අදාළ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම ද අධීක්ෂණ නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට මාරුවීම් ලබා දී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩුවලට අනුව මෙම ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.
Saru News















