පොලිස්සියට සම්මාදම් කර අවුරුදු කෑම පොලිස්පති තහනම් කරයි

0
5

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් ස්ථාන මට්ටමින් සිදුකරන අලුත් අවුරුදු සංග්‍රහ වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කරගැනීම් හෝ ව්‍යාපාරිකයන්ගෙන් දායකත්වයන් ලබාගැනීම් නොකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් වෙත නියෝග කර තිබේ.

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වාම පෙරේදා (06) අදාළ නියෝගය සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් හා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් නිලධාරින්ගෙන් මුදල් එක්රැස් කිරීම් හා ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්ව සපයා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්ය.

මෙයට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් තුටුපඬුරු (හැම්පර්ස්) තෑගි වව්චර් පිරිනැමීම සඳහා නිලධාරීන්ගෙන් හා ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවගෙන් මුදල් එකතු කරන බවද කිසිදු නිලධාරියකු එවැනි පිරිනැමීමක් හෝ කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එවැන්නක් බාර ගැනීම නොකළ යුතු බවද මෙමගින් අවධාරණය කර තිබේ.

තවද බාහිර පාර්ශ්වයන්ගේ හෝ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් යුතුව පොලිස් ස්ථානයේ සිංහල අලුත් අවුරුදු සාද පැවැත්වීම ද නොකරන ලෙසද පොලිස්පතිවරයා සිදුකළ නියෝග මාලාවේ සඳහන්ය.

තවද අලුත් අවුරුද්දට සුබ පැතීම සඳහා තමාව හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පුද්ගලිකව හමුවීම අවශ්‍ය නොවන බවත් වට්ස්ඇප් කෙටි පණිවුඩයක් මගින් සුබ පැතීම සිදුකරන ලෙසත් පොලිස්පතිවරයා මෙමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

තවද පොලිසියේ රාජකාරි කරන සෑම නිලධාරියකු වෙනුවෙන්ම සිංහල අලුත් අවරුදු උදාවෙන් පසුව රාජකාරී අරඹන මුල් දිනයේ සංග්‍රහ කටයුතු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් සෑම නිලධාරියකුටම රුපියල් 250 ක අරමුදල් ලබාදීමට තමන් අනුමත කර තිබෙන බවද ඒ අනුව පොලිස් ස්ථානවල හා පොලිස් කාර්යාලවල එදින රාජකාරී නියුතු පොලිස් හා සිවිල් කාර්ය මණ්ඩල සඳහා තේ මේසයක් පිළියෙල කර සංග්‍රහ කටයුතු සිදුකළ හැකි බවද පොලිස්පතිවරයා මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම නියෝග හා උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධීක්ෂණ නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බවද එහි සඳහන් ය.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here