1971 ආදරණීය සහෝදර සහෝදරියන් ප්රාර්ථනා කළ ලෝකය ගොඩනැගීමට මූලාරම්භය තබා තිබෙනවා බව විදේශ කටයුතු හා සංචාර ඇමති විජිත හේරත් අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ 1971 අරගලයේදී දිවි පිදූවන් සිහි කරමින් ඊයේ (05) මාතරදී පැවති 55 වැනි අප්‍රේල් විරු සමරුවේ ප්‍රධාන සමුරු දේශනය පවත්වමිණි.
එහි දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, විදේශ කටයුතු හා සංචාර ඇමති විජිත හේරත් සිදු කළ සම්පූර්ණ සමරු දේශනය පහතින් දැක්වේ,
“අප්‍රේල් 05 කියන්නේ මීට අවුරුදු 55කට පෙර තරුණ නැගිටීමක් සිදුවුණු දවසයි. පීඩිත ජනතාව තලා පෙළා අයුක්තිය අසාධාරණය රජ කර තිබූ පරිසරයක යුක්තිය සාධාරණය වෙනුවෙන් නැගී සිටි ඓතිහාසික දවසක්. ඒ වන විට අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාට අවුරුදු 27යි. මේ වේදිකාවේ ඉන්න කිතුලගොඩ සහෝදරයා, රෝහණ සහෝදරයාට අවුරුදු හතරකට පසුව ඉපදිලා භද්‍ර යෞවනයේ පසුවන අවදියේ වීරෝදාර ලෙස අරගලයට එකතු වුණා. දැන් කිතුලගොඩ සහෝදරයාට අවුරුදු 79යි. රෝහණ සහෝදරයා සිටියා නම් 83යි. අවුරුදු 20-30 වයස්වලදි 71 අරගලයට තරුණ ජවයෙන් එක්වූ ආදරණීය අම්මලා, තාත්තලා රැසක් අද මේ අවස්ථාවට එක්වී ඉන්නවා. මානව හිතවාදයේ උත්තරීතරම අරමුණු වූ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නැගී සිට අවුරුදු 55කට පසුව අපේ හදවතේ නැගෙන උත්තරීතර ගෞරවය, විප්ලවීය ආචාරය ඒ සියලු දෙනාටම හිමි වෙනවා.
ඔවුන් ප්‍රාර්ථනා කළ යුක්තිගරුක, සාධාරණ සමාජය වෙනුවෙන් එදා එකතු වුණු තරුණයන් ප්‍රජාතන්ත්‍රවාදී තම අදහස් නොබියව ඉදිරිපත් කළ. එදා සිටි පාලකයන් එයට බයවී මර්දනය දියත් කළා. පාර්ලිමේන්තු පනතකින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන්ට දඬුවම් කළා. ඔවුන් හිතුවේ නැහැ එදා ඒ ඓතිහාසික නැගිටීම සිදු කළ අපේ පක්ෂය මේ තරම් පුළුල් මහජන ව්‍යාපාරයක් වෙලා බලය ලබාගනියි කියලා.
මේ අප්‍රේල් 05 දාට පාස්කු ඉරිදා දිනයත් යෙදී තිබෙනවා. ජේසුස් වහන්සේ මානව දයාවෙන් යුක්තව තමන්ගේ දහම සමාජයට ඉදිරිපත් කිරීම නිසා කුරුසියේ ඇණ ගසා මරා දැම්මා. ජේසුස් වහන්සේගේ අදහස එතැනින් අවසන් කරන්න පුළුවන් කියලා ඔවුන් කල්පනා කළා. පාස්කු ඉරිදා දිනයේ ඒ දහම නැවත උට්ඨානය ලැබුවා. කුරුසියේ ඇණ ගහලා ජේසුස් වහන්සේගේ ධර්මය යටපත් කරන්න බැරි වුණා. ඒ වගේම තමයි 71 අපේ ආදරණීය පරපුර ටයර් සෑයවල පුළුස්සා දැමුවත් ඒ නැගිටපු නැගිටීම කිසි කෙනෙකුට මරා දාන්න නොහැකි වුණු බව අද ඔප්පු කර තිබෙනවා. රෝහණ සහෝදරයාගේ උපන් බිම මාතර, කෝට්ටේගොඩ. පක්ෂයේ මූල බීජයන් රෝපණය කළ ඒ ඓතිහාසික භූමියේ ඉඳලා අද අප්‍රේල් සමරුව පවත්වන්නේ නිහතමානී සතුටකින්. ඔවුන්ගේ නිජ බිමේ සිට, ආචාර දක්වන්න ලැබීම පිළිබඳව නිහතමානීව අපි සතුටු වෙනවා.
අපි මර්දනයන් කිහිපයකට මුහුණ දුන්නා. සිරගෙවල්වල සිටියා. හැබැයි අපි නැවත නැගිටලා සමස්ත සමාජයම අධ්‍යාපනිකව දැනුවත් කරලා 71 ආදරණීය සහෝදර සහෝදරියන් ප්රාර්ථනා කළ ලෝකය ගොඩනැගීමේ මූලාරම්භය අපි ලබාගෙන තිබෙනවා. ලංකාවේ වැඩ කරන ජනතාව, කාන්තා ව්‍යාපාරය, තරුණ සහ ශිෂ්‍ය ව්‍යාපාර විතරක් නොවෙයි ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධාන පිහිටුවා ජාතික ජන බලවේගය නමැති මහා ජනතා පවුර ගොඩනඟා දූෂිත පාලකයන් බංකොලොත් කළ අපේ රට ගොඩනැගීමට පටන් ගෙන තිබෙනවා. එදා තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල සිටි ආහාරයක් නැතිව ණය වී සිටි ජනතාව වගේම ඉතිහාසයේ පළමුවැනි වතාවට විදේශ ණය ගෙවා ගත නොහැකිව ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන්ම ප‍්‍රකාශ කර තිබුණා. නරුම, තුච්ච දේශපාලන සංස්කෘතියක් රට තුළ රජකර දූෂණය, වංචාව ඉහවහා ගොස් තිබුණා. මැදමුලන කැලෑ නීතිය එදා රජ කළේ. අධිකරණයේ විනිශ්චයකාරුවන්ගේ ස්වාධීනත්වයට මරු පහරවල් එල්ල කර තිබුණා. දූෂිතයෝ, වංචාකාරයෝ, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ නිදහසේ හැසුරුණා. 2024 අපි ආණ්ඩුව බාරගන්නකොට රට තිබුණ තැන මේ රටේ ජනතාවට අමතක නැහැ. මුළුමහත් සමාජයම පීඩාවට පත්කර ශ්‍රී ලංකාව බංකොලොත්, ගෝත්‍රික රාජ්‍යයක් හැටියට ලෝකය ඉදිරියේ අවමානයට ලක්කර තිබුණා. ජනතාව විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අනුර දිසානායක සහෝදරයාගේ මූලිකත්වයෙන් බාර ගත්තේ එවැනි රටක්. අපි හැමෝම දේශපාලනයට ඇවිත් ඉටුකරමින් ඉන්නේ 71 පරම්පරාව සහ 88-89 පරම්පරාව පෙනී සිටි යුක්තිගරුක සාධාරණ සමාජය ගොඩනැගීම වෙනුවෙන්.
අද අපි ආණ්ඩු බලය හොබවන්නේ මේ රටේ සියලු ජනතාවට ආදරයෙන්, සතුටින් යුක්තිගරුක සමාජයක ජීවත් වීමේ තත්වය ගොඩනඟන්නයි. බංකොළොත් කර, ණය උගුලක සිරකර, දේශපාලන සංස්කෘතියෙන් අන්ත පිරිහීමකට ලක්කර තිබූ රට, කෙටි කාලයක් තුළ දෙපයින් සිටුවන්න පටන් ගත්තා. අපි බලයට එන්න පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අත්සන් කර තිබූ ගිවිසුම් නිසා ඒ වැඩපිළිවෙළ තුළ සිටිමින් සාර්ථක ලෙස ආර්ථිකය කළමනාකරණය කරමින් සිටිනවා. පසුගිය අවුරුද්ද තුළ අපේ ආර්ථිකය නැවත 5%ක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයක් දක්වා ගෙන එන්න අපේ ආණ්ඩුවට හැකි වුණා. යුද්ධය කාලයේ භාණ්ඩ හා සේවා මිල වැඩිවීම 28%ක්ව තිබුණත් 2022දී 70% දක්වා වැඩි වුණා. අපි බලයට ඇවිත් පුංචි කාලයක් ඇතුළත පසුගිය පෙබරවාර මාසය දක්වා උද්ධමනය 1.7%ට ගේන්න හැකි වුණා. දැන් 2%යි. ප‍්‍රාතිහාර්යයක් වගේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් විශාල වශයෙන් අපි වැඩිකළා. අද වැඩවර්ජනය කරන වෛද්‍යවරුන්ගේ වැටුප ඔවුන්ටවත් සිතා ගත නොහැකි ආකාරයෙන් වැඩිකළේ ජාතික ජන බලවේගයේ අපේ ආණ්ඩුව. බංකොලොත් රටක වැටුප් වැඩි කළ නොහැකි බව රාජ්‍ය සේවකයන් තේරුම් අරගෙන සිටියත් අපි ඒ වැටුප් වැඩිකර 4% පොළියට රුපියල් ලක්ෂ 15 දක්වා රාජ්‍ය සේවක නිවාස ණය ලබාදීම ආරම්භ කළා. මෙතෙක් කිසිදු පාලකයෙක් නොකළ ආකාරයට මලයගම් දෙමළ ජනතාවගේ දිනක වැටුප රුපියල් 1700/- දක්වා වැඩි කළ හැකිවන ආකාරයෙන් වංචා, දූෂණ නැති කර රාජ්‍ය මුල්‍ය කළමනාකරණය ඇති කළා.
එදා දූෂිතයන් රැසක් දැන් වෙනකොට ඇතුළේ. එස්.එම්. රංජිත්, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන්, මහින්දානන්දලා විතරක් නොවෙයි, හිටපු පොලිස්පති පවා නීති විරෝධී කටයුතු වෙනුවෙන් ගෙදර යැව්වා. සජින් වාස්ලා, එයාර් ලංකා හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තරාතිරම බලපුළුවන්කාරකම අදාළ නොවී අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. වැරදි කර තිබෙන අධිකරණ ක්ෂේත්‍රයේ අයටත් අද අධිකරණ සේවා කොමිසමෙන් දඬුවම් ලබා දෙමින් තිබෙනවා. එහෙම යුගයක් ගැන ඔබ අසා හෝ දැක තිබෙනවාද? අපට කිසි කෙනෙක් එක්ක පෞද්ගලික වෛරයක් හෝ තරහක් නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කර, දූෂිත සමාජය වෙනස් කරන්න අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ කිහිපයක් පිහිටවූවා. ඒ දවස්වල ජනාධිපතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු ලබාගත් වරදාන, වරප්‍රසාද කප්පාදු කර, දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ගෙවී ගිය වසරක් වැනි පුංචි කාලයක් තුළ සිදුකර තිබෙනවා. මේ තත්වය තුළ ලංකාවට ආයෝජන එන්න පටන් ගත්තා. පසුගිය වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2ක් දක්වා වර්ධනය කර ගන්න හඳුන්නෙත්ති සහෝදරයා ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය මූලික වී ක්‍රියාකළා. ඩොලර් බිලියන 7.3ක් දක්වා විදේශ සංචිත ඉහළට ගේන්න අපට හැකි වුණා. ලෝකය පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ පසුගිය වසරේ එව්වා. ඒ වගේම රට ගිනි තියන ජාතිවාදී, ආගම්වාදී, බෙදීම්වලට ඉඩ නොදී සහජීවනය ඇති කිරීමත් සමග පසුගිය අවුරුද්දේ ලෝකය පුරා සංචාරකයන් වැඩිම පිරිසක් ලංකාවට පැමිණියා.
මේ ලෝකයේ මිනිස්සු සටන් කළ යුත්තේ සොබාදහමත් එක්කයි. ඒ මිනිසාට වාසිදායක ලෙස සොබා දහම වෙනස් කරන්නයි. ඒ කොහොමද කියලා රෝහණ සහෝදරයලා එදා අපට ඉගැන්වුවා. කාලගුණ විපර්යාසවලට මුහුණ දීම ගැන ලෝකයේම අවධානය යොමුකර පර්යේෂණ සිදුකරමින් ඉන්න අතර, අපේ රටට ද්විත්වා සුළි කුණාටුව ආවා. මධ්‍ය කඳුකරයේ නිවාස නාය ගොස් දුම්රිය පාරවල්, පාලම්, මහපාරවල් කැඩී බිඳී ගියා. මාතර දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියන් රොද බැඳී බදුල්ල නුවරඑළිය දිස්ත්‍රික්කවලට ගොස් මේ සුළි කුණාටුවට ජනතාවක් ලෙස ඔබ සියලු දෙනාත් ආණ්ඩුවක් ලෙස අපිත් ඉතා හොඳින් මුහුණ දුන්නා. ලෝකයේ සෑම රටක්ම මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර අපට ලබාදීමට තරම් මාලිමා ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් බැඳී ඉන්නවා. රට නැවත නඟා සිටුවීමට විශේෂ අරමුදලක් පිහිටුවා නැවත ශක්තිමත් ගමනක් යමින් සිටිනවා. මාසයක් තුළ ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් එනම් දෙලක්ෂ හැත්තෑහත්දහසක ගෙන්වා ගැනීමෙන් පෙබරවාරි මාසයේ වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ අතර තමයි ලෝකයේ තෙල් සංචිත වෙනුවෙන් මරා ගන්නා යුද්ධය ආරම්භ වී තිබෙන්නේ. තෙල් සම්පත වෙනුවෙන් තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ වේදැයි කවුරුත් බයෙන් ඉන්නවා. රටට අවශ්‍ය තෙල් ගබඩා කර ගන්න තරම් පහසුකම් පවා හිටපු පාලකයන් ඉදිකර තිබුණේ නැහැ. අපි කොලොන්නාවේ අලුත් තෙල් ටැංකි 06ක් ආරම්භ කරන්නත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කරන්නත් පටන් ගත්තා. තවත් ටැංකි 23ක් ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, වගේ රටවල් තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කරන්න ඉදිරිපත් වී තිබෙනවා. මේ වෙනුවෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 25ක මුදලක් අවශ්‍ය වෙනවා. නළ මාර්ග ඉදිකරන්නත්, ටෙන්ඩර් කැඳවා මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැනීමටත් කටයුතු සූදානම් කරමින් සිටිනවා. රටට අවශ්‍ය ගෑස් ලබා ගැනීමට වෙනත් සමාගමක් ඉදිරිපත් කර තිබූ අවම ටෙන්ඩරයට අපි ලබාදී තිබෙනවා. ගෑස් ගබඩා කරන්න අවශ්‍ය සංකීර්ණ ඉදිකරන්න මුලපුරා තිබෙනවා. ලෝකය පුරා ඇති වී තිබෙන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න අපි වේගයෙන් ක්‍රියාකර තිබෙනවා. අපට අවශ්‍ය පොහොර, ගල් අඟුරු සහ ඉන්ධන ලබාදෙන්න රුසියාවත්, චීනයත් මේ වනවිට එක්වී තිබෙනවා. ඉන්දියාව දැනටමත් ඉන්ධන නැවක් අපට ලබාදී අවසන්. ඇමෙරිකාවෙන් මේ වනවිටත් ගෑස් ලැබෙනවා. ලෝකයේ යුද්ධයක් පවතින අතරේ මේ සියල්ල කළමනාකරණය කර ගන්න අපි සමත් වී සිටිනවා.
සුනාමි ව්‍යසනය, ගංවතුර උවදුරු වගේම දිත්වා සුළු කුණාටුව වගේ අවස්ථාවල පෙරමුණ ගන්න රතු තරුව සහන සේවා බලකායට ජීවය දුන්නේ 71 අපේ සහෝදර සහොදරියන්. මේ අත්දැකීම්වලින් ලෝකයේම ඇතිවී තිබෙන අර්බුදයන් කළමනාකරණය කර ගන්නත් අපිට ශක්තිය තිබෙනවා. විදුලිය පිළිබඳව අර්බුදයක් ඇති වීම පිළිබඳව අනතුරු ඇඟවී තිබෙනවා. එය කළමනාකරණය කර ගන්න යම් මිල වැඩිකිරීමක් කළා. මාසයකට ඒකක 30ට වඩා අඩුවෙන් වැය කරන දුප්පත් ජනතාවට ඒකකයට වැඩි වුනේ ශත 50ක් වගේ පුංචි මුදලක්. ඉහළ ඒකක ගණනක් භාවිතා කරන අයට ඊට වඩා වැඩිකිරීමක් සිදුකර තිබෙනවා. ඉදිරියේදී ඇතිවන තත්වයන් සලකා බලා, ආරථිකය ශක්තිමත්ව තබා ගන්නා අතර, ඉදිරියේදී ලබාදිය හැකි තවත් සහන ලබා දෙන්න කි‍්‍රයා කරනවා. තාවකාලිකව ඇති වි තිබෙන අර්බුදයට අපි හැමෝම යම් කැපකිරීමක් කර, අපි අපේ ගමන යමු. පවතින යුද්ධය තව කොයි පැත්තකට හැරෙයිද කියලා අපි කාටවත් කියන්නන බැහැ. ඉතිහාසයේ මීට වඩා සුවිශාල අභියෝග බාරගත්, ඒ අභියෝග ජය ගන්න ඕනෑම කැපකිරීමක් කළ හැකි අපට මේ ප්‍රශ්න ජය ගත හැකියි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බව අපි ඇප කැපවීමෙන් තහවුරු වී තිබෙනවා. 71 පරම්පරාවේ ගුණයන් සහිත යෂ්ටිය 88-89 පරම්පරාව ගත්තා. එතැනින් පස්සේ අපි ඔක්කෝම එකතු වෙලා ඒ යෂ්ටිය අරගෙන ඇවිත් නූතන පරම්පරාව අතට ලබා දෙමින් සිටිනවා. කිසිවෙකුටත් එය නතර කරන්න බැහැ. ඒ බව මාතර පුරවරයේ මෙතැනට එකතු වී සිටින ඔබ සැම තවදුරටත් තහවුරු කර අවසන්. නුදුරේදීම තවත් බොහෝ ජයග්‍රහණ ලබා ගන්න දහසක් මල් පිපේවා! දහසක් තරු පායා ඒවා! ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා! මේ රටේ යුක්තිය, නීතිය, සාධාරණත්වයට ජය වේවා!
නිල්වලා ගඟේ ගමන් මඟ
නතර කළ නොහැක කළුවර තොපට
නෙතින් ගලනා කඳුළු වෛරය ද
නිවාලිය නොහැක කළු මරණයට
ඉවුරු බඩ රතු නෙළුම් පිපෙණු ඇත හැමදාම
ඉවුරු බඩ රතු නෙළුම් පිපෙණු ඇත හැමදාම”
8
Saru News
















