අපේ රටේ ජනතාව පාරට බහින්නේ ආණ්ඩුව පෙරළන්න නොව රැක ගන්න බව අපට විශ්වාසයි – ටිල්වින් සිල්වා – Saru News | සිංහල

0
6

අපේ රටේ ජනතාව ඉදිරියේදී පාරට බහින්නේ ආණ්ඩුව පෙරළන්න නෙවන බවත් ආණ්ඩුව රැකගන්න බවත් තමන්ට විශ්වාස යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කරන්නේ 1971 අරගලයේදී දිවි පිදූවන් සිහි කරමින් ඊයේ (05) වව්නියාවේදී පැවති 55 වැනි අප්‍රේල් විරු සමරුවේ ප්‍රධන සමුරු දේශනය පවත්වමිණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා සිදු කළ සම්පූර්ණ සමුරු දේශනය පහතින් දැක්වේ,

“මම මේ මොහොතේ මෙතැන කතා කරන අතරේ ලාල්කාන්ත සහෝදරයාගේ මූලිකත්වයෙන් බදුල්ලේත්, විජිත හේරත් සහෝදරයාගේ මූලිකත්වයෙන් මාතරත් අපේ‍්‍රල් විරුවන්ගේ ගුණ සමරමින්, අපේ ජීවිතවලට අත්දැකීම් එකතු කර ගනිමින් සිටිනවා. ඒ වාගේම දිස්ති‍්‍රක් මට්ටමින් සහ මැතිවරණ කොට්ඨාස මට්ටමිනුත් එම විරුවන් සමරමින්, අත්දැකීම් බෙදාහදා ගන්නවා. මේ සැමරුමත් විශේෂයි. උතුරු පළාතේ අපේ‍්‍රල් විරු සැමරුමක් පවත්වන්නේ පළමු වතාවට. ජනතා විමුක්ති පෙරමුණ මූලික වී ජාතික ජන බලවේගය ගොඩනඟා, ආණ්ඩු බලය ලබාගෙන, සිංහල, දෙමළ මුස්ලිම් සියලුම සහෝදර, සහෝදරියන් ඉදිරියේ මේ සැමරුම සිදු කිරීම විශේෂිතයි. අප මෙතැනට එකතු වී සිටින්නේ මීට අවුරුදු පනස්පහකට කලින් ඇති වූ ජනතා නැඟිටීමක් සමරන්න. 1971 අරගලය නිර්මාණය වූයේ ඇයි? ඒ අරගලයේ දී දිවි පිදූ සහෝදර, සහෝදරියන් සටන් කළේ කුමන අරමුණක් වෙනුවෙන්ද? ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක පරපුර නියෝජනය කළ ඒ සහෝදර, සහෝදරියන් දිවි පිදුවේ පොදු අරමුණක් වෙනුවෙන්. ඔවුන් සටන් කළේ අපට විමුක්තිය ලබාදීම සඳහා. අපේ රටට සැබෑ නිදහස ගේන්නයි; අපේ රටේ ජීවත් වන සියලු ජනයාට සමානයන් ලෙස ජීවත් විය හැකි රටක් ගොඩනඟන්නයි. අයුක්තිය, අසාධාරණය නැති ලෝකයක් ගොඩනඟන්නයි. ජාතිවාදයෙන් තොර සමාජයක් හදන්නයි. එදා ඔවුන්ගේ අරගලය පරාජයට පත් වුවත්, ඔවුන්ගේ නිවැරැදි අරමුණු පරාජය කරන්න බැරි වුණා. අප කිසිදු වේලාවක ඔවුන්ගේ අරමුණු අත්හැරියේ නැහැ. ඒ නිසා දිගු කලකට පස්සේ ජාතික ජන බලවේගය ගොඩනඟා ආණ්ඩු බලය ලබා ගන්න අපට හැකි වුණා.

දැන් අපිට ආණ්ඩුවක් තියෙනවා. මේ ආණ්ඩුව අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ ආණ්ඩුවක්. ජාතිවාදය නැති ආණ්ඩුවක්. හැමෝටම සාධාරණව සලකන ආණ්ඩුවක්. මහජන මුදල් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක්. පොදු ජනතාව වෙනුවෙන් මහන්සි වෙන ආණ්ඩුවක්. අලුත් සමාජයක් හදන්න පොරබදන ආණ්ඩුවක්. සහෝදරත්වයෙන් බය නැතිව ජීවත් විය හැකි ආණ්ඩුවක් දැන් අපට තිබෙනවා. ඒ නිසා අප හැම දෙනාගේම වගකීම තමයි, මේ ආණ්ඩුව ආරක්‍ෂා කරන එක.

මේ ආණ්ඩුව ආරක්‍ෂා කළ යුත්තේ, අප කාටවත් පෞද්ගලිකව යමක් ගන්න නොවෙයි. වඩා සාධාරණ, යුක්තිගරුක සමාජයක් ගොඩනඟන්නයි. 1971 අරගලයේ දී දිවි පිදූ සහෝදර, සහෝදරියන්ගේ අරමුණු ඉටු කරන්නයි. අප කතා කරන භාෂාව නිසා, අප අඳින ඇඳුම නිසා, අප පදිංචි ප‍්‍රදේශය නිසා කිසිවකුට වෙනස්කම් නොකරන සමාජයක් අප ගොඩනඟන්න ඕනෑ. හැමෝටම යුක්තිය තිබෙන කාටත් නීතිය සාධාරණව කි‍්‍රයාත්මක කෙරෙන සමාජයක් ගොඩනඟන්න මේ ආණ්ඩුව අපට ඕනෑ. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මේ දක්වා පැමිණි අපට තවත් බොහෝ බාධා තිබුණත්, ඒ බාධා මැඬගෙන විනාශ කළ රටක් ගොඩනඟන්න අප සියලුම දෙනා ඉදිරියට යා යුතුයි. ඒ වෙනුවෙන් කැප කිරීමෙන්, මහන්සියෙන් ඉදිරියට යන්න ආදර්ශයන් 71 විරුවන්ගෙන් ලබාගත හැකියි. ඒ ආදර්ශයන් ලබාගෙන මහජනතාවගේ මේ ආණ්ඩුවට විරුද්ධ වන අය පරාජය කරමින්, සියලු දෙනාගේ ජයග‍්‍රහණය කරා ඉදිරියට යන්න ඕනෑ. අප හැම දෙනාගේම දෑත්වලින් අලුත් සමාජය ගොඩනඟන්න ඕනෑ. මේ ජයග‍්‍රහණ ආරක්‍ෂා කර ගනිමින්, අප හැම දෙනාම එකාවන්ව ඉදිරියට යමු කියලා ඉල්ලා සිටිනවා.

මෙයට අවුරුදු 55කට පෙර සන්නද්ධ නැඟිටීම සිදුවන විට මෙතැන ඉන්න බොහෝ දෙනකු ඉපදිලාවත් නැතුව ඇති. ඒ අරගලයේදී මිය ගිය අයගේ නෑදෑයන් මෙතැන ඉන්නත් පුළුවන්; නැති වෙන්නත් පුළුවන්. අපට ඥාතිත්වයක් හෝ දැනහැඳුනුම්කමක් තිබුණත්, නැතත් ඒ කාලයේ අප ඉපදී හිටියත්, නැතත් අපි ඒ විරුවන් සමරන්න ඒකරාශී වී සිටිනවා. අප එකතුවී සිටින්නේ හුදු සමරුවක් කරන්න නෙවෙයි. මේ සමරුව කියන්නේ අත්දැකීම්, ධෛර්යය, ශක්තිය එකතු කරගන්න තැනක්. ලෝක ඉතිහාසය පිරී තිබෙන්නේ විවිධ වර්ගයේ අරගලවලින්. 1971 අරගලයේ ඉතාමත් පවිත‍්‍ර අරමුණු රැසක් තිබුණා. ඒ අරගලයට එක් වුණු කිසි කෙනෙක් ආත්මාර්ථකාමී හැඟීමකින් එක් වුණු අය නොවෙයි. සමාජයක් වෙනුවෙන් රටක් වෙනුවෙන්, අපේ පන්තියට දේශපාලනය කර නව සමාජයක් බිහි කිරීම වෙනුවෙන් සටන් වදින්න විතරක් නොවෙයි, දිවි පුදන්නත් හැකි බව ඔප්පු කළේ 1971 විරුවන්. ඔවුන් කිසිවකුත් තමන්ට කිසිවක් ඉල්ලා නොසිටින දේශපාලනයක් රෝහණ සහෝදරයාගේ නායකත්වයෙන් 1965දී ආරම්භ කළා. පැරැණි සමාජය වෙනස් කර වඩා හොඳ, යහපත් සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් කැප කිරීම් කළ හැකි ධෛර්යයක් අප කාටත් තිබුණා, තිබෙනවා. සාධාරණ සමාජයක් ගොඩනැඟීමේ, වඩා දියුණු සමාජයක් නිර්මාණය කර ගැනීමේ, වඩා සංවර්ධනය වූ සමාජයක් බිහි කර ගැනීමේ අයිතියට කිසිවකුටත් අත තියන්න බැහැ. ඒ අයිතිය සඳහා දේශපාලනය කරන කොට එදා සිටි පාලකයන් ඇතුළු පිරිසක් බාධා කරමින්, මර්දනය කළ නිසයි සන්නද්ධ නැඟිටීමක් සිදු වුණේ. එහි දී අන් අයගේ අයිතීන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ හැකි බව ඒ සහෝදර, සහෝදරියන් ඔප්පු කළා. ඒ නිසා ආත්මාර්ථයෙන් තොර බල තණ්හාවකින් තොර ජාතිවාදයෙන් තොර අරගලයක් ඒක.

එය මානවවාදී අරගලයක්. දුක් විඳින මිනිසුන්ට වඩා හොඳ සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් සිදු කළ අරගලයක්. මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා කල්පනා කළ ඒ දුක් විඳීමෙන් පොදු සමාජය ගලවා ගන්න දියත් කළ අරගලයක් 1971 අරගලය. බහුතර ජනයාට දේශපාලනය කිරීමේ අයිතිය ඉල්ලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණක් එහි තිබුණා. ඒ නිසා ඉතාමත් හොඳ විනයකින් යුක්තව පොදු අරමුණු වෙනුවෙන් දියත් කළ අරගලයක් ඒක. සහෝදර, සහෝදරියන් පසුබසිද්දීත්, ඉතාමත් හොඳ විනයක් සහිතව සදාචාරය රැකි ඉතිහාසයක් අරගලයේ පසුබැසීම තුළ පවා තිබුණා. හොඳ අරමුණක් වෙනුවෙන් මරණය වුණත් තෝරා ගන්න පිරිසක් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්න බව විශ්වාසයි. ඉතා දුෂ්කර කොන්දේසි යටතේ 1965දී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරමින්, අධිෂ්ඨානසහගත ලෙස කි‍්‍රයා කළ කණ්ඩායමක් ඒ වන විටත් පැවැති ජරාජීර්ණ ක‍්‍රමය වෙනස් කරන්න සංවිධානය වුණා. ඒ ශුද්ධ වූ අරමුණු වෙනුවෙන් සංවිධානය වෙමින් එන කොට එදා සිටි පාලක කණ්ඩායම් මේ ව්‍යාපාරය උපන් ගෙයිම මර්දනය කරන්න පටන් ගත්තා. 1970 අගෝස්තු මාසයේ 12 වැනිදා මාධ්‍යවලට නිවේදනයක් නිකුත් කර රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආතර් රාජ්කුමාර් රත්නවේල් සඳහන් කර තිබුණේ, ආණ්ඩුවේ අංක එකේ හතුරා හිස ඔසවමින් තිබෙන චේගුවේරා ව්‍යාපාරය බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ඔහු කිව්වා. ඒ වන විට දේශපාලන අධ්‍යාපනය ලබාදෙමින්, සංවිධාන පිහිටුවූවා මිස ආයුධ ගැනීමක් ගැන කල්පනා කර තිබුණේ නැහැ. මේ ආකාරයෙන් ක්‍රමානුකූලව මර්දනය දියත් කර එක රැයකින් මුළු ව්‍යාපාරයම විනාශ කරන්න සූදානම් වන බවට තොරතුරු ලැබීම නිසා දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ වෙන්න තීරණය කළා. 71 අපේ‍්‍රල් පස්වැනිදා අරගලය දියත් කළේ ඒ මර්දනයට විරුද්ධවයි.

කොමියුනිස්ට් ප‍්‍රකාශනය ලියූ කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් සඳහන් කර තිබෙන්නේ “මෙතෙක් පැවැති සමාජයන්ගේ ඉතිහාසය වූ කලී පන්ති සටන්වල ඉතිහාසයයි” කියලා. වහල්ලු සහ වහල් හිමියන් අතරත්, ප‍්‍රවේණි දාසයා සහ ඉඩම් හිමියා අතරත්, ධනපතියා සහ පීඩිතයා අතරත් විටෙක සැඟවුණා වූ ද, විටෙක එළිමහනේ ද කළ අරගලයක් තිබෙනවා. විටෙක සමාජය වෙනසකට ලක් කිරීමෙන් කෙළවර වුණා වූ ද, විටෙක නිර්ධන පන්තීන්ගේ පරාජයෙන් කෙළවර වුණා වූ ද සටනක් තිබූ බව සඳහන් කර තිබෙනවා. 1971 කියන්නේ පරාජයට පත් වූ අරගලයක් වුවත්, එයින් සටන අවසන් වූයේ නැහැ. ආණ්ඩු බලය අර ගත් පසු අදත් අපට සටනක් තිබෙනවා. මොකුත් කරන්නට ඉඩ නොදෙන විපක්‍ෂය වාගේම වෙනස් වීමට සූදානම් නැති මිනිසුන්ගේ පුරුදු එක්ක සටනක් කරන්න තිබෙනවා. අපේ ඉතිහාසයේත් 1818 ඌව වෙල්ලස්සේ කැරැල්ල බි‍්‍රතාන්‍යයන්ට එරෙහිව දියත් කළා. 1848 මාතලේ කැරැල්ල ඉංගී‍්‍රසින්ගේ පීඩාවලට එරෙහිව දියත් කළා. ඉතිහාසය ගමන් කරන්නේ ඒ ආකාරයෙන් වුවත්, පාලකයන් 1971 අරගලය ගැන කීවේ, ‘නොමඟ ගිය තරුණයන් පිරිසක් දියත් කළ කැරැල්ලක්’ කියලයි. නමුත්, ඒ සහෝදර, සහෝදරියන් තෝරාගෙන තිබුණේ, ‘දණින් වැටී මිය යනවාට වඩා දෙපයින් සිටගෙන මිය යාම සතුටක්’ කියන ආදර්ශ පාඨයයි. අද අපට ධෛර්යය තිබෙන්නේ, ශක්තිය තිබෙන්නේ එදා නැඟීසිටීමෙන් ලබාදුන් ආදර්ශ නිසයි.

1971දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කර දැමුණු නිසා සන්නද්ධ අරගලයක් දියත් වුණා. නමුත්, 2021, 2022 කාලයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරන්න බැරි වුණු නිසා මහා ජනතා නැඟිටීමකින් පාලකයන් එළෙව්වා. මහින්ද රාජපක්‍ෂ අගමැතිකම අත්හැර ති‍්‍රකුණාමලය කඳවුරේ සැඟ වී සිටියා. ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති ධුරය අත්හැර රටෙන් පලා යන්න සිදු වුණා. දැන් රඟපාන නාමල් රාජපක්‍ෂලා වාගේ අය ඇමැතිකම් අත්හැරලා හැංගිලා හිටියේ. මහජන අරගලය කියන්නේ පාලකයන් එළවා දමන්න තරම් අයුක්තිය, අසාධාරණය නොඉවසන ජනතාවගේ නැඟීසිටීමක්. හැත්තෑඑකේ දී ඒ අවස්ථාව නොතිබුණු නිසා සන්නද්ධ අරගලයක් දියත් වුණා. ඒ අරගලයේ දී දිවි පිදූ සහෝදර, සහෝදරියන්ගේ අරමුණු අත්නොහැරි නිසා දැන් අප ආණ්ඩු බලය ලබාගෙන රට ගොඩනඟමින් සිටිනවා. දැන් අප හමුවේ තිබෙන්නේ නව සමාජයක් ගොඩනැඟීමේ දී දේශපාලන වශයෙන් මැදිහත් වී ජයගත යුතු බාධක සහ අභියෝගයි. ඉතිහාසයේ පළමු වතාවට මුළු රටම එකතු වී ගොඩනැඟූ මහජනතාවගේ අලුත් ආණ්ඩුවක් දැන් තිබෙන්නේ, මෙයට කලින් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර කියන සියලු ජනයා එකට එකතු වී ගොඩනැඟූ ආණ්ඩුවක් තිබුණේ නැහැ. මඩකළපුව හැර සියලුම දිස්ති‍්‍රක්ක ජයග‍්‍රහණය කරමින්, ගොඩනඟා තිබෙන ආණ්ඩුව අලුත් සමාජ ක‍්‍රමයක් නිර්මාණය කිරීමේ දී අවුරුදු හැත්තෑහයක් තිස්සේ කුරුවල් වුණු සමාජයක්, රාජ්‍ය යාන්ත‍්‍රණයක් සහ නීතිරීති වෙනස් කරමින් යා යුතු ගමනක් තිබෙනවා. සමහර දේවල් මාස තුනෙන් හෝ හයෙන් හෝ වෙනස් කළ නොහැකියි. සමාජ පරිවර්තනයක් ඒ වාගේ කෙටි කාලයකින් කරන්න බැහැ. අපේ ආණ්ඩුව ඇවිත්, අවුරුද්දක් යන කොට බංකොළොත් කර තිබූ රට ගොඩ ගත්තා. ජනතාවට සහන දුන්නා. ලෝකයේ සමහර රටවල් අලුත් සමාජයක් ගොඩනඟන්න අවුරුදු දහයක්, පහළොවක්, විස්සක් වාගේ කාලයක් ගතකර තිබෙනවා. සිංගප්පූරුව, චීනය වාගේ රටවල් දැන් තිබෙන තැනට ගොඩනඟන්න අවුරුදු විස්සක්, විසිපහක් වාගේ කාලයක් ගතකළා. කුමන දුෂ්කරතා හෝ බාධක පැමිණියත්, අපි ඉටු කළ යුතු අධිෂ්ඨානසහගත කාර්යභාරයක් තිබෙනවා.

අපි අලුත් ආණ්ඩුවක් හැදුවට එක රැයෙන් සමාජය වෙනස් වෙන්නේ නැහැ. පරණ සිතුම්, පැතුම් තිබෙන පරණ විදියට හිතන සමාජයක් වෙනස් කරන් කාලයක් ගතවෙනවා. ‘ක්ලීන් ශී‍්‍ර ලංකා’ වැඩසටන වගේ එකක් එක රැයෙන් ගොඩනඟන්න බැහැ. මේ දක්වා ජනතාව පුරුදු කර තිබුණේ, ‘කල දුටු කල වළ ඉහ ගන්න’ කි‍්‍රයාවලියකට. මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ආවා. සීමිත පිරිසක් හැකි තරම් ඉන්ධන රැස් කර ගන්න පෝලිම්වල හිටියා.

අපේ ආණ්ඩුව හොරකම් නතර කර තිබුණත්, පහළ මට්ටමේ දී ඒවා නතර කරන්න තව කාලයක් ගත වෙනවා. මේ බාධා මැඩගෙනයි අපට ඉස්සරහට යන්න තිබෙන්නේ. අප හදා ගත්ත න්‍යාය පත‍්‍රයකටම යන්න වෙන්නේ නැහැ. අයවැයෙන් සල්ලි වෙන්කරලා සැලැසුම් හදලා ඉදිරියට යනකොට අපි අපේක්‍ෂා නොකළ විපත්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මුළු රටටම විශාල විනාශයක් කළ ‘දිට්වා’ සුළි කුණාටුව ආවා. රට ගොඩ ගන්න බැරි වෙයි කියලා කවුරුත් බය වුණා. සැලැසුම්සහගතව වැඩ කරලා ඉතාමත් ඉක්මනින් රට යථා තත්වයට පත් කළ එකම ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව ඉතිහාසයට එක්වෙලා තිබෙනවා. ඒ ප‍්‍රශ්නය විසඳනකොට දැන් යුද්ධයක් ඇවිල්ලා. කවදා ඉවර වෙයි ද කියලා අපට කියන්න බැහැ. සියලුම රටවල ආර්ථික අඩපණ වෙලා. සම්පත් විනාශ වෙනවා. මේ ප‍්‍රශ්න නිසා අපගේ සාමාන්‍ය ජීවිත පවත්වාගෙන යන්න බැරි වීම ස්වාභාවිකයි.

ඒ අතර, හැම හොඳ වැඩකටම බාධා කරන විපක්‍ෂයක් අපිට තියෙනවා. ජාතික ජන බලවේගය ගොඩනඟලා, 2020 මහා මැතිවරණයට මුහුණ දුන් අපි සියයට තුනට වැටුණා. ඊට පස්සේ අප ක‍්‍රමානුකූලව සැලැසුම්සහගතව විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනඟා ජනතාව දැනුම්වත් කර බිම් මට්ටමේ ජනතාවත් ඒකාබද්ධ කරමින්, බලය ලබා ගත්තා. දැන් විපක්‍ෂය කටයුතු කරන්නේ රටට විනාශයක් වුණත් තමන්ට බලය ගන්නයි. එයාලා හැම තිස්සේම රටට විපතක් වෙනකම් ආණ්ඩුව පෙරළන්න බලාගෙන ඉන්නවා. මේ අපේ‍්‍රල් මාසයේත් ආණ්ඩුව පෙරළන බව කිව්වා. ලෝකයේ යුද්ධයක් තිබුණත්, ජනතාව අවුරුදු සමරන්න පෙළගැහෙනවා. අපේ රටේ ජනතාව මේ ආණ්ඩුව පෙරළන්න නොවෙයි ආණ්ඩුව රැකගන්න පාරට බහින බව අපිට විශ්වාසයි. මේ ආණ්ඩුව ගොඩනඟලා තියෙන්නේ, හොඳ අවබෝධයකින් යුක්ත ජනතාවක්. මිනිසුන්ට තෙල් නැති වෙලා හරි කන්න නැති වෙලා හරි ආණ්ඩුව වැටෙනවා නම්, හොඳයි කියන සිතුවිල්ලම මේ විපක්‍ෂයට ශාපයක්. මේ විපක්ෂය බොරු කියනවා; රට පවාදෙනවා. ඉන්දියාවේ යුද අභ්‍යාසයකට ආපු නැව් තුනෙන් එකකට ප‍්‍රහාරයක් එල්ල වුනා. තව නැවක් යාන්ති‍්‍රක දෝෂයකට ලක්වුනා. එයට ශී‍්‍ර ලංකාව ආණ්ඩුවක් ලෙස මැදිහත් වූ බව ඔබ දන්නවා. විපක්‍ෂය කිව්වේ, එක්සත් ජනපදයට අපේ ආණ්ඩුවෙන් ඔත්තු සපයා, එක් නැවකට පහර දුන් බවයි. එතරම්ම රට පාවා දෙන්න පුළුවන් නම්, එවැනි විපක්‍ෂයක් රටට ශාපයක්ම තමයි. එවැනි කුමන්ත‍්‍රණ දරාගෙන යන්න අපට සිදු වී තිබෙනවා.

දේශපාලනයේ දී දේවල් දරා ගැනීම ඉතාම වැදගත්. ඒ දරා ගැනීමේ හැකියාව 1971 අරගලයේ සහෝදර, සහෝදරියන්ගේ සිට අපට ලැබී තිබෙනවා. විපක්‍ෂයට හිතවත් ජනමාධ්‍ය පාවිච්චි කර නැති ප‍්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා. කෘති‍්‍රම ලෙස තෙල් පෝලිම් ඇති කරන්න බොරු ප‍්‍රචාර ගෙන ගියා. බලය සඳහා පාස්කු ප‍්‍රහාරය දක්වා ගියේ ඔය විපක්‍ෂයේ කණ්ඩායම් බවට මතයක් සමාජයේ තිබෙනවා. ඒ මතය නිවැරැදි බව ඔවුන් ම තහවුරු කරමින් සිටිනවා. පාස්කු ප‍්‍රහාරය ගැන පරීක්‍ෂණ සිදු කරන අතර, විපක්‍ෂයේ අය මහමොළකරුවන් ගැන පොත් ලියනවා. පොතක් ලියලා එළියට දාපු හාදයා ඇත්ත මහමොළකරුවන් කවුරුන් ද කියලා අපට පෙන්නුවා. ඇත්ත වැරැදිකරුවන් රකින්න පොත් ලියනවා වාගේම මහබැංකු කොල්ලය වෙලාවෙත් ඇත්ත හොරුන් රකින්න කට්ටියක් පොත් ලිව්වා. දිනපතාම ඔවුන් බොරු ප‍්‍රචාර යවනවා. වෙන පක්‍ෂයක් ආණ්ඩුවක් හැදුවා නම්, ඒ පක්‍ෂයේ ඉන්න හැමෝම තනතුරු ගන්නවා. අපේ පක්‍ෂයේ පූර්ණකාලීනව කැප වීමෙන් වැඩ කරන සහෝදර, සහෝදරියන් ස්වේච්ඡාවෙන් වැඩ කරමින්, මේ සමාජය වෙනස් කරන්න වැඩ කරනවා. තනතුරු ගත් සහෝදර, සහෝදරියන් වැඩ කරන්නේත් තමන්ට පවරා තිබෙන වගකීම් ඉටුකර මේ සමාජය වෙනස් කරන්න. මෙවැනි කැප කිරීම් කළ හැකි පක්‍ෂ ලංකාවේ තිබෙන්නේ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ජනතා විමුක්ති පෙරමුණට ඒ ආදර්ශය ආවේ 71 අරගලයෙන්.

තමන්ගේ දැනුම, අත්දැකීම්, හැකියාවන් සහ ජීවිතය පරිත්‍යාග කරමින්, නව සමාජයක් බිහි කරන්න 1965 සිටත් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුවත් අවසන් ජයග‍්‍රහණය දක්වා යන්න හැකියාව, ශක්තිය සහ ධෛර්යය අපිට තිබෙනවා. අවලාද නඟලා, අපහාස කරලා අපේ ගමන නවත්වන්න කල්පනා කරන පිරිසක් සෝෂල් මීඩියාවල ඉන්නවා. 1971ත් අවලාද තිබුණා. අභියෝගවලින් හෝ අවලාදවලින් නතර වෙන ව්‍යාපාරයක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ජවිපෙ කියන්නේ `සී.අයි.ඒ. කෙමනක්’ කිව්වා. ‘ජවිපෙ බලය ගත්තොත්, අවුරුදු පහට අඩු අය, අවුරුදු 55ට වැඩි අය මරා දමන’ බවට ප‍්‍රචාර ගෙන ගියා. සමහරු ඒ ප‍්‍රචාර විශ්වාස කළා. මේ ප‍්‍රචාර බොරු බව ඔප්පු කරන්න අපට සෑහෙන කාලයක් ගියා. නමුත්, බොරුවලින්, අවලාදවලින් අපව නවත්වන්න බැරි බව පසුගිය මැතිවරණවලින් අපි ඔප්පු කර තිබෙනවා. මැතිවරණවල දී ජාතික ජන බලවේගය බලයට ආවොත්, පෙරහැර තහනම් කරන බව, පන්සලට දානය දීම තහනම් කරන බව, බෞද්ධාගම විනාශ කරන බව, මුස්ලිම් අයගේ රැවුල් කපන බව, පල්ලියේ ආගම ඇදහීම නවත්වන බව, පළිගැනීම්වලින් රට ලේ විලක් වන බව ප‍්‍රචාර ගෙන ගියා. නමුත්, කිසිදු මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයක් නැතිව බලය ලබාගත් එකම දේශපාලන ව්‍යාපාරය අපි. ඡන්ද දිනලා, රතිඤ්ඤා පත්තු නොකර පෙළපාළි නොගිය දේශපාලන ව්‍යාපාරය අපි. විපක්‍ෂයට වඩා අපේ තරුණ පරපුර සහ ජනතාව ඉන්නේ ගොඩාක් ඉස්සරහින්. වෙන වැඩක් නැති විපක්‍ෂය බොරු කීම, පුද්ගලයන්ට අපහාස කිරීම සහ බාධා කිරීම් සිදු කරමින් ඉන්නවා. මරාදාලා නවත්වන්න බැරි වූ අපේ ගමන බොරුවලින් හෝ අවලාදවලින් නවත්වන්න බැහැ. ජාතිවාදයෙන් තොරව ජනතාව අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනඟමින්, ඉදිරියට යන බවට සාක්‍ෂි මේ ශාලාව තුළම තිබෙනවා. මනුෂ්‍යත්වයට ආදරය කරන්න ඉගැන්වූයේ 1971 අරගලයෙන්. පීඩාවට, දුකට පත් වී කඳුළින් ජීවත් වූ මිනිසුන්ට සහ කුසට අහරක් නැති මිනිසුන්ට, දරුවන්ට ආදරයෙන් ඔවුන් වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනඟන්න කි‍්‍රයා කරන විට මර්දනය කළ පාලකයන්ට එරෙහිව අවි දරා ජීවිත පරිත්‍යාගයෙන් කි‍්‍රයා කළ ව්‍යාපාරයක් අපි.

මේ ජයග‍්‍රහණ ආපසු හැරවීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගනිමින්, ඉදිරියට ගෙන යාමේ වගකීමක් සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම තිබෙනවා. ලෝකය ඉදිරියේ ගෞරවයෙන් යුක්ත රටක් බවට ගෙවී ගිය කෙටි කාලය තුළ දී අපේ ආණ්ඩුවෙන් ගොඩනඟා තිබෙනවා. ඒ වාගේම නිර්භීත, දූෂණයෙන් තොර, පරිත්‍යාගශීලී දේශපාලනයක් කරමින් සිටින අතර ඉරානය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ස්ථාවරයට ලෝකයම අපට ගරු කරනවා. රට පුංචි වුණත්, දැවැන්ත තීන්දු ගත හැකි මිනිසුන් සිටින රටක් බවට ලෝකය ම පිළිගෙන රටට කීර්තියක් අත් කර දී තිබෙනවා. අරමුණ පිළිබඳ විශ්වාසයෙන් ඉදිරියට යන්න අපට ධෛර්යය ගොඩනැඟුවේ 1971 සහෝදර, සහෝදරියන්. රෝහණ සහෝදරයා “අප මරා දැමුව ද, අප නඟන හඬ සදා නොමියෙනු ඇත” කියලා පොතක් ලීවා. අලුත් සමාජයක් ගොඩනඟන්න අපත් වෙනස් වෙමින්, සමාජය වෙනස් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අප හැමෝටම කාර්යභාරයක් තිබෙනවා. අසල්වැසියන් දැනුම්වත් කරමින්, කි‍්‍රයා කරන්න මේ වෙලාවේ විශේෂ වගකීමක් තිබෙනවා. විදුලි බලය සුරකින්න, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න අප සැලැසුම් සකස් කර කි‍්‍රයාත්මක කරනවා. විදුලි කප්පාදුවකින් තොරව ලබා දීමේ අධිෂ්ඨානයක් අපේ ආණ්ඩුවට තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව විශේෂයෙන් රාතී‍්‍ර කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනෑ. පොදු අරමුණු වෙනුවෙන් දරා ගනිමින්, පරිත්‍යාගශීලීව, අර්බුදවලින් ජය ගන්න කි‍්‍රයා කිරීමෙන් ලෝකය ඉදිරියේ ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ගොඩනඟන්න ඕනෑ. බාධක, අභියෝග වාගේම සතුරන්ගේ අවලාද, අපහාස ඉදිරියේ කලබල නොවී සිටීමත් ඉතාමත්ම වැදගත්.

ඒ වාගේ ම “ජනතාවට එරෙහි කිසිම දෙයක් අපේ ආණ්ඩුව කරන්නේ නැහැ” කියන විශ්වාසය අපට තිබෙන්න ඕනෑ. අප ඒ විශ්වාසය තහවුරු කර තිබෙනවා. අපේ අතින් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒවාට කවුරුත් කළබල වෙන්න ඕනෑ නැහැ. හැබැයි, අප කවුරුත් වැරැදි කරන්නේ නැහැ. ඒ විශ්වාසය අප තුළ ගොඩනඟා ගන්න ඕනෑ. ප‍්‍රතිපත්තිගරුකව, නොසැලී අලුත් සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් කි‍්‍රයා කිරීමේ ගුණාංග අපට එක්කර දුන්නේ 1971 සහෝදර, සහෝදරියන්. පසුගිය අවුරුදු හතළිහක් පුරා අපේ සමාජය විවෘත ආර්ථිකය ඇතුළේ සහකම්පනයක් නැති තත්වයට පත් කර තිබුණා. එය වෙනස් කරන්න ඕනෑ. ඒ වාගේම මානවවාදී ගුණාංග අප ළඟ තිබෙන බවත් ඉතිහාසය පුරාම තහවුරුවී තිබෙනවා.

1971 අරගලය ගැන තව වසර ගණනාවක් ගියත්, කතා කරන්න දේවල් අපට තිබෙනවා; ලබාගන්න අත්දැකීම් තිබෙනවා. හොඳ අරමුණක් වෙනුවෙන් අවි දරා සටන් කර ජීවිතය වුවත්, පරිත්‍යාග කළ හැකි බවත්, දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් සිටගෙන මිය යා හැකි බව ඔප්පු කළ ඒ සහෝදර, සහෝදරියන් හැම දාමත් අපට ආලෝකය සපයනවා. ඉතිහාසයෙන් ගත හැකි සාධනීය දේවල් ලබා දෙන බැහැර කළ යුතු දේවල් බැහැර කර නව සමාජයක් ගොඩනැඟීමයි, හැත්තෑඑකේ දිවි පිදූ සහෝදර, සහෝදරියන්ට කළ හැකි හොඳම උපහාරය. මවුබිමේ සතුරන් පරාජය කර සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝ ම ශී‍්‍ර ලාංකිකයන් ලෙස එක් වී ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම වෙනුවෙන් කි‍්‍රයා කරන්න ඕනෑ. ඊ ළඟ පරම්පරාවට ඒ වගකීම පවරන්න අයිතියක් අපට නැහැ. මේ රට ලෝකයේ හොඳම රට හැටියට අපේ දෑත්වලින් ගොඩනඟනවාය කියන අධිෂ්ඨානයෙන් අප මෙතැනින් පිට වී යන්න ඕනෑ.

1971 අරගලයෙන් පස්සේ අපේ රටේ චින්තනයේ වෙනසක් සිදුවී කලාව, සාහිත්‍යය කෙරෙහි විශාල බලපෑමක් සිදු වුණා. අරගලයේදී සිරගත කළ අපේ සහෝදර, සහෝදරියන් සිරගෙවල්වල බිත්තිවල ඔවුන්ගේ අත්දැකීම් ලිව්වා. පරාජයෙන් පස්සේත් අරමුණු අත්නොහරින බව ඔප්පු කරමින්, කවි ලිව්වා. එහෙම ලියූ කවියකින් මම ඔබගෙන් සමුගන්නවා.

“විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය       උරා

රතු මල් පිපෙනු ඇත මිහිකත දෙරණ        පුරා

ලෙළ දෙන රතු ධජය දැඩි කොට සුරත     දරා

පියවර නඟමු නව නිවහල් ලොවක්         කරා”

අපි හැම දෙනාම ඒ විරුවන් අත තිබූ ධජය වැටෙන්න නොදී සුරැකිව අරගෙන මෙතෙක් ආවා වාගේ අප හැමෝටම සතුටින්, සාමයෙන් ජීවත් විය හැකි කාන්තාවන්ට, දරුවන්ට ආරක්‍ෂාව සහිත රටක් ගොඩනඟමු. අපව පස්සට අදින්න උත්සාහ කරන, බාධා කරන කිසිවකුට ඉඩ නොදී විශ්වාසයෙන් ඉදිරියට පියනඟමු. අපේ රට ලෝකයේ ඉහළින්ම නම රඳවන රටක් බවට පත් කරමු. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ජයවේවා! ශී‍්‍ර ලංකාවට ජයවේවා !”


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here