සඳ වටා යන ගමන – මිනිත්තු 40ක් පෘථිවිය සමඟ සබඳතා බිඳ වැටෙයි

0
6

ආටෙමිස් II (Artemis) මෙහෙයුමේ නිරත ගගනගාමීන් තරම් පෘථිවියෙන් ඈතට ගිය වෙනත් කිසිවෙකු මෙතෙක් ඉතිහාසයේ නැත.

පෘථිවිය ඔවුන්ගේ පසුපස කන්නාඩියෙන් කුඩා තිතක් ලෙස පෙනී යන විට පවා, ටෙක්සාස්හි හූස්ටන් නුවර පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ඔවුන් නිරන්තරයෙන් සම්බන්ධ වී සිටියහ.

නමුත් දැන් එම සබඳතාව තාවකාලිකව බිඳ වැටීමට නියමිත බව වාර්තා වේ.

සඳුදා දින බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 23:47 ට (EDT වේලාවෙන් 18:47) ගගනගාමීන් සඳුගේ පිටුපස ප්‍රදේශයට ගමන් කිරීම ආරම්භ කරන විට , පෘථිවිය සහ යානය අතර පණිවිඩ හුවමාරු කරන රේඩියෝ සහ ලේසර් සංඥා සඳ විසින් අවහිර කරනු ලබයි.

මෙහිදී මිනිත්තු 40 ක පමණ කාලයක් ගගනගාමීන් සිව්දෙනා දැඩි හුදෙකලාවක පසුවනු ඇති බව සඳහන් වේ.

අභ්‍යවකාශයේ අඳුර මැදින් ගමන් කරන ඔවුන්ට එය තමන්ගේම සිතුවිලි සහ හැඟීම් සමඟ තනිවීමට ලැබෙන සුවිශේෂී මොහොතක් වනු ඇති බව විචාරකයින් පවසයි.

මෙම නිශ්ශබ්දතාව පිළිබඳව අදහස් දක්වමින් ආටෙමිස් නියමුවා වන වික්ටර් ග්ලෝවර් පවසා සිටියේ මෙය ලෝකයම එකට එක්වන අවස්ථාවක් කරගනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවය.

“අපි සඳට පිටුපසින් සැඟවී සැමගෙන් වෙන්ව සිටින විට, එය අවස්ථාවක් කරගන්න. අපි නැවත පෘථිවිය සමඟ සම්බන්ධ වන තෙක් ප්‍රාර්ථනා කරන්න, බලාපොරොත්තු තබාගන්න, ඔබේ සුබ සිතිවිලි අප වෙත එවන්න,” යනුවෙනි.

මීට වසර 50 කට පෙර ඇපලෝ මෙහෙයුම්වල නිරත වූ ගගනගාමීන්ටද මෙවැනිම හුදෙකලා අත්දැකීම්වලට මුහුණ දීමට සිදුව තිබූ බව සඳහන් වේ.

මෙහිදී වඩාත්ම අවධානයට ලක්වූයේ ඇපලෝ 11 හි මයිකල් කොලින්ස් ය.

1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් සඳ මත පළමු පියවර තබමින් ඉතිහාසය නිර්මාණය කරන විට, කොලින්ස් සඳ වටා කක්ෂගත වී තිබූ යානය තුළ තනිවම සිටියේය.

ඔහුගේ යානය සඳුගේ පිටුපස ප්‍රදේශයට ගමන් කළ සෑම අවස්ථාවකම, සඳ මත සිටි තම සගයන් සහ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ තිබූ සබඳතාව මිනිත්තු 48 කට අහිමිව ගිය බව සඳහන් වේ.

පසු කලෙක ඔවු විසින් රචිත  Carrying the Fire නැමැති ස්වයං චරිතාපදානයේ ඔහු එම අත්දැකීම විස්තර කළේ “සැබවින්ම තනි වූ හුදෙකලා වූ” මොහොතක් ලෙසය.

එහෙත් තමාට කිසිදු බියක් හෝ පාළුවක් නොදැනුණු බව ඔහු පවසා තිබුණි. පසුකාලීනව ඔහු ප්‍රකාශ කළේ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ලැබෙන නිරන්තර උපදෙස්වලින් මිදී නිදහසේ සිටීමට ලැබුණු ඒ නිශ්ශබ්දතාව තමාට මහත් සැනසීමක් ගෙන දුන් බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here