ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යමණ්ඩල පුහුණු හා නැවත පුහුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ… – Saru News | සිංහල

0
6

මේ දිනවල රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවාහන සහ සැපයුම් සැසියට (International Transport and Logistics Forum) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක එම සමුළුව අතරතුර රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සූදානම් කිරීම, පුහුණු කිරීම සහ නැවත පුහුණු කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී පියවරක් ලෙස සැලකිය හැක. විශේෂයෙන්ම මානව සම්පත් සංවර්ධනය, වෘත්තීය පුහුණුව, දැනුම හුවමාරුව සහ ආයතනික ධාරිතා වර්ධනය සඳහා නව අවස්ථා රැසක් මේ හරහා උදා වීමට නියමිතය.

අවබෝධතා ගිවිසුමට අනුව, ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනික සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමේදී දෙපාර්ශ්වය එකිනෙකාට සහාය ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව, රුසියානු–ශ්‍රී ලංකා අධ්‍යාපනික ප්‍රවාහන සම්මන්ත්‍රණ ප්‍රමුඛ ක්ෂේත්‍ර 09ක් මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, ප්‍රවාහන යටිතල පහසුකම් ඉදිකිරීම, ප්‍රවාහන යටිතල පහසුකම් කළමනාකරණය, මාර්ග ආරක්ෂාව, ප්‍රවාහන නීති සහ ප්‍රවාහන ආර්ථිකය, ප්‍රවාහන පරිසරවේදය, ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය, ගෝලීය ප්‍රවාහන සේවා වෙළඳපොළේ තරඟකාරී වාසි හඳුනා ගැනීම ආදි ක්ෂේත්‍ර 09 ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන ඇමති අන්ද්‍රේ නිකිටින් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක අතර ද්වීපාර්ශ්වික හමුවක්ද පැවැත්විණි.

එහිදී, දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්, කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කිලෝමීටර් 60ක කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් නවීකරණ කටයුතු සඳහා රුසියානු සමාගම්ගේ සහභාගීත්වය පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. එසේම, ධාවන උපකරණ සැපයීම සහ ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද අදහස් හුවමාරු විය. ඒ සඳහා නිශ්චිත යෝජනා ලැබීමෙන් පසු අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් සලකා බැලීමට රුසියානු පාර්ශ්වය සූදානම් බව දැනුම් දී ඇත.

තවද, ප්‍රවාහන අධ්‍යාපනය සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුහුණු හා නැවත පුහුණු කිරීම ශක්තිමත් කිරීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම රුසියානු පාර්ශ්වය අවධාරණය කළ අතර, රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ (MIIT) ශාඛාවක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.

දෙරට අතර ගුවන් මගී ප්‍රවාහනය තවදුරටත් පුළුල් කිරීමේ විශාල හැකියාවක් පවතින බවද මෙහිදී අවධාරණය වී ඇත. 2025 වර්ෂය තුළ දෙරට අතර මගීන් දෙලක්ෂ දහනවදහසකට (219,000) අධික සංඛ්‍යාවක් ගමන් කර ඇති අතර, 2026 වර්ෂයේ ජනවාරි මාසය තුළ පමණක් මගීන් තිස් එක්දහසකට (31,000) ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඒ අනුව, ගුවන් ගමන් වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය උනන්දුව දෙපාර්ශ්වය විසින් යළිත් තහවුරු කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සහ ඊට සමගාමීව පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡා, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම, ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රායෝගික සහයෝගීතාව ඉහළට ගෙන යාමටද ඉවහල් වනු ඇත.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here