බොහෝ දෙනෙකු නොදැන සිටි භයානක අවියක්… – Saru News | සිංහල

0
7

මේ සටහන තබන මොහොත වනවිට ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය බිහිසුනු ප‍්‍රහාර ආරම්භ කර, දින 37ක් ඉක්ම ගොස් තිබේ. එය ආරම්භයේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබුණේ දින 04ක් හෝ 05ක් තුළ ඉරාන රෙජිමය පෙරළා දමා ප‍්‍රහාර අවසන් කරන බවය. එහෙත් මේ වනවිට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙන්නේ තමන් ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලට ඉරානය යටත් නොවෙන්නේ නම්, එරට පිරිපහදු ජල මධස්ථාන ඇතුළු ජන ජීවිතයේ අත්‍යවශ්‍ය සේවා සැපයුම්වලට පහර දී විනාශ කර දමන බවය. එයට ප‍්‍රති උත්තර ලබාදෙමින් ඉරානය ප‍්‍රකාශ කර තිබෙන්නේ මැදපෙරදිග පිහිටි ඇමෙරිකානු ආර්ථික මර්මස්ථාන සහ ආරක්ෂක කඳවුරුවලටත් ඊශ‍්‍රායලයේ උපක‍්‍රමික මධ්‍යස්ථානවලටත් පහර දී විනාශ කරන බවය. දෙපාර්ශ්වයේම වහසි බස් ඇදබෑම් මධ්‍යයේ `දෙගම්බඩ ශිෂ්ටාචාරය’ පමණක් නොව මුළු ලෝකයේම මානව සංහතිය, ස්වභාවික පරිසරය, සොභාවික සම්පත් ඇතුළු බහුවිධ පාර්ශ්ව මුහුණ දී සිටින බිහිසුණු අනතුර පිළිබඳ ඓතිහාසික පසුබිම විමසා බැලීමේ තුන්වැනි සටහනට මේ ලෙස මුල පිරේ. මෙයට පෙර ටෙහෙරාන් නුවරට සෝවියට්, බි‍්‍රතාන්‍ය සහ ඇමෙරිකා රැස්වෙති. යන සිරස්තලයෙන් මෙන්ම ”ලොව ප‍්‍රබලම ලොක්කන් තුන්දෙනෙක් යෝල්ටාවට ගිය රහස් ගමනක්” යන සිරස්තලයෙන් යුතු ලිපි දෙකක් පළ කරනු ලැබීය.

දෙවන ලිපිය අවසන් කළේ පරමානු බෝම්බය සහ ඩොලරය එකම ආකාරයෙන් ලෝකය මත බලය පැතිරවීම පිළිබඳව සාකච්ඡාවට ඉඩකඩ විවර කරමිනි. මෙතැන් සිට ඒ පිළබඳව සැකෙවින් සාකච්ඡාවට ලක් කෙරේ.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට ලිට්ල් බෝයි සහ ෆැට් මෑන් යනුවෙන් නම් කළ පරමානු බෝම්බ දෙක හෙළනු ලැබූයේ දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට බව ප‍්‍රචලිත මතය වී තිබේ. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ එවකට හිටපු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින්ක් රූස්වෙල්ට් සමග සාකච්ඡාවට එක්වී සිටි සෝවියට් නායක ජෝසප් ස්ටාලින් මෙන්ම මහා බි‍්‍රතාන්‍යයේ අගමැති වින්සන්ට් චර්චිල් පූර්ව සාමූහක එකඟතාවක හිඳිමින් ජපාන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව මිත‍්‍ර පාර්ශ්වික බලය යෙදවීම පිළිබඳව නිශ්චිත අදහසක සිටි බව දේශපාලන ඉතිහාසඥයන් පෙන්වා දී තිබිණි. එහෙත් 1945 මැයි 08 වැනි දින නිල වශයෙන් ජර්මනිය පරාජයට පත්කරන මොහොතේ සෝවියට් රතු හමුදා ප‍්‍රමුඛ හමුදා බලය කොතරම් ද යන්න ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය ඇතුළු ධනවාදී කඳවුර තේරුම් ගෙන තිබිණි. නාසි යුද අපරාධකරුවන්ට එරෙහිව නියුරම්බර්ග් ජාත්‍යන්තර යුද අධිකරණයේ පවත්වන ලද නඩු විභාගයේදී විත්තිකරුවෙකුව සිටි හිට්ලර්ගේ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙකු ප‍්‍රකාශ කර තිබුණේ තමන් පරදින යුද්ධයක් ආරම්භ නොකළ බවය. තමන්ට එරෙහිව නැගී සිටින සියලු රටවල අවි බලය සහ පිරිස් බලය පිළිබඳව නිවැරදි තක්සේරුවක සිටිමින් ජයග‍්‍රහණය කළ හැකි යුද්ධයක් ආරම්භ කළ බව ප‍්‍රකාශ කර තිබිණි. එසේ නම්, දෙවන ලෝක යුද්ධය පරාජය වූයේ කෙසේදැයි නිවුරම්බර්ග් විනිසුරුවරුන් විසින් පෙරළා නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස එම ජ්‍යෙෂ්ඨ නාසි හමුදා නිලධාරියා ප‍්‍රකාශ කර තිබුණේ ”සෝවියට් ජනතාවගේ ආධ්‍යාත්මක ශක්තිය තක්සේරු කිරීමට නොහැකි” වූ බවය.

මෙන්න මෙම පසුබිම තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට ලෝකයේ එකම අසහාය යුද නායකයා වීමේ අවශ්‍යතාවය වෙනුවෙන් වෙහෙස නොබලා කි‍්‍රයා කළෝය. මෑන් හැට්න් ව්‍යාපෘතියෙන් පරමානු බෝම්බය නිෂ්පාදනය කළේ එම ආධිපත්‍යය ලබා ගැනීමේ තීරණාත්මක අවියක් ලෙසිනි. මෙන්න මේ අවිය ජපානය මත හෙළා ප‍්‍රබල දේශපාලන අනතුරු ඇඟවීමක් සිදු කළේ සෝවියට් රුසියාවට එරෙහිව බව දේශපාලන ඉතිහාසඥයන් විවිධ අවස්ථාවල පෙන්වා දී තිබිණි. එහෙත් එම මත දැක්වීම් ප‍්‍රකට වූ ඒවා නොවේ. තම දේශපාලන ආධිපත්‍යය වෙනුවෙන් ඇමෙරිකාව 1950 දී කොරියානු යුද්ධය ආරම්භ කිරීම, කියුබාවට එරෙහිව මිසයිල ස්ථානගත කිරීම, කියුබානු ආක‍්‍රමනයකට මුල පිරීම, දෙවන ලෝක යුද්ධය අවසන්ව වසර කිහිපයක් ඇතුළත තම බලය පෙන්වීම සඳහා දරන ලද ප‍්‍රයත්නවලින් කිහිපයකි. මේ අනුව පරමානු බෝම්බය ඇමෙරිකාවේ අනාගත ලෝක බලාධිපත්‍යය තීරණය කරන ප‍්‍රධාන අවියක් ලෙස ජපානය අලු දූවිලි කිරීම මගින් අත්හදා බැලීමෙන් ලද ජයග්‍රහණය ලෝකය මත මුදා හැරි ආකාරයයි. ඒ වනවිට ලෝකයේ මහා බලවතුන් ලෙස සෝවියට් දේශය සහ බි‍්‍රතාන්‍යය යන රටවල් දෙක සිටියද, මේ රටවල් දෙකටම පරමානු බෝම්බ බලය නොතිබිණි. එමෙන්ම දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට ආසන්න වනවිට ලෝක බලවතුන් තිදෙනා ලෙස සිටි ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ සෝවියට් දේශය පරමානු අවිවලින් තොර රටවල් විය. එම තත්වය ඇමෙරිකාවේ පරමානු බෝම්බ ව්‍යාපෘතියත් සමග අවසන් කළ අතර, පරමානු බෝම්බ තවදුරටත් දියුණු කරමින් න්‍යෂ්ටික අවි යුද්ධයකට මහා බලවතුන් අවතීර්ණ වීමේ තියුණු තරගයක් ඉතිරි විය. සෝවියට් දේශය, මහා බ්‍රිතාන්‍යය පමණක් නොව පසුව ප‍්‍රංශය සහ චීනයද න්‍යෂ්ටික බලවතුන් බවට පත්වීමෙන් ලෝකය මත මහා බලවතුන් පස් දෙනෙකු නිර්මාණය විය.

න්‍යෂ්ටික බලයට සමාන්තරව ඇමෙරිකාව දියත් කළ ආර්ථිකමය අවිය වූයේ ඩොලරයයි. ඩොලරය එක් අතකින් බැලූ විට න්‍යෂ්ඨික යුධ අවිවලටත් වඩා බලගතු ආකාරයෙන් ලෝක ආධිපත්‍යය දැරීමට යොදා ගත් බව බොහෝ දෙනෙකු නොදැන සිටි කරුණකි. බි‍්‍රට්න්වුඩ් සමුළුවේදී යෝජනා කර තිබුණේ ලෝකයේ පොදු විනිමය ඒකක පිළිබඳව බි‍්‍රතාන්‍යය ඉදිරිපත් කළ BARCOR ඒකකය සහ ඇමෙරිකාවම ඉදිරිපත් කළ UNITAS ඒකකය යන දෙකම අත්හැර ඩොලරය ලෝකයේ පොදු විනිමය ඒකකයක් බවට උපක‍්‍රමික ලෙස පත්කර ගනු ලැබීය.

ඇමෙරිකානු ඩොලරයට මේ බලය ලැබුණේ ඓතිහාසික පසුබිමක් තුළිනි. ඇමෙරිකා එක්සත් ජනපදය නමින් නිල වශයෙන් රාජ්‍ය පිහිටවූ තැන් සිට වේගවත් කාර්මීකරණයක් අත්පත් කර ගැනීමට සැලසුම් සකස් කර තිබුණි. 18 සහ 19 සියවස්වල මහා බි‍්‍රතාන්‍යය මුල්කර ගනිමින් ආරම්භ වූ කාර්මික විප්ලවයේ බලය වේගයෙන් ඇමෙරිකාව උකහා ගනු ලැබීය. පළමු ලෝක යුද්ධය ආරම්භ වනවිට ඇමෙරිකාව එම කාර්මීකරණ මාවතේ සැලසුම් සහගතව පියවර නගමින් ඉදිරියට ඇවිත් තිබිණි. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ විට ලෝකයේ කාර්මික බලවතුන් අතර ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටි බව තහවුරු විය. යුද්ධයට අවශ්‍ය නවීන අවි ආයුධ පමණක් නොව වෙනත් යාන වාහන සහ කාර්මික උපකරණ රැසක් ඇමෙරිකානු විවිධ සන්නාම ඔස්සේ ලෝකය පුරා පැතිර යමින් තිබිණි. මේ අනුව දෙවන ලෝක යුද්ධය අවසන් වී 1950 දශකය ආරම්භ වනවිට ලෝකයේ කාර්මික නිෂ්පාදනවලින් ඇමෙරිකාව සතු කරගෙන තිබූ පංගුව 74%ක් බව විශ්ලේෂයකන් පෙන්වා දී ඇත. ඇමෙරිකානු ඩොලරයට බලය ලැබුණේ මෙන්න මේ කාර්මික නිෂ්පාදන ආධිපත්‍යය තුළිනි.

මහා බ්‍රිතාන්‍යය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් දෙවන ලොක යුද සමයේදී ඔවුනට තවදුරටත් දරා ගත නොහැකිව ආර්ථික බිඳවැටීමකට ලක්වෙමින් තිබිණි. එහෙත් නාසිවාදී හිට්ලර්ට එරෙහිව යුද වැදෙන අතර, ඔවුන්ගේ රටවල යම් කාර්මික සහ කෘෂිකාර්මික, ආර්ථික දියුණුවක් අත්කර ගැනීමට අවශ්‍ය යන්ත‍්‍ර සුත‍්‍ර ලබා ගැනීම ඇමෙරිකානු නිෂ්පාදනවලට කේන්ද්‍රගත වී පැවතිණි. ඇමෙරිකාවෙන් ලෝකයේ අනෙක් රටවලට යුද අවි විකිණීමත් මෙවැනි කාර්මික නිෂ්පාදන විකිණීමත් තිරිඟු අපනයනය කිරීමත් හදිසි අවශ්‍යතා ලෙස සපුරනු ලැබීය. නමුත් ඒවා මිලදී ගත් රටවලට ඇමෙරිකාවට ගෙවීමට තරම් විදේශ විනිමයක් ඉතිරි වී නොතිබිණි. ඒ වෙනුවට එම රටවල් සතුව තිබූ රත‍්‍රං ඇමෙරිකාවට ලබාදී ඔවුන්ට අවශ්‍ය මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ යුද උපකරණ හුවමාරු කර ගනු ලැබීය. දෙවන ලෝක යුද්ධය අවසන් වනවිට ලෝකය සතුව තිබූ රත‍්‍රංවලින් 65%ක් ඇමෙරිකාව තමන් සන්තක කරගෙන තිබූ බව විශ්ලේශකයන් පෙන්වා දී ඇත. මෙන්න මේ ඉතිහාසය ඇමෙරිකානු ඩොලරයේ ගමන් මග පිළිබඳ විශ්ලේෂණයේදී වැදගත් ය.

පළමු ලෝක යුද්ධය අවසන් වනවිට තම කාර්මික නිෂ්පාදන මත ඩොලරය ශක්තිමත් කරගෙන තිබූ අතර, එහි දෙවන පියවර දෙවන ලෝක යුද්ධය අවසන් වනවිට ලෝකයේ රත‍්‍රං සංචිත මත ඩොලරය ශක්තිමත් කර ගෙන තහවුරු කර ගැනීමට ඇමෙරිකානුවන් සමත්ව සිටියෝය. න්‍යෂ්ටික අවිවලට සමාන්තරව ඇමෙරිකානු ඩොලරය ආර්ථික අවියක් වශයෙන් 1970 දශකය ආරම්භය දක්වා දෙවන ලෝක යුද්ධයෙන් පසුව දශක දෙකහමාරක් පමණ ලෝකය මත ආධිපත්‍යය දැරීය. ඩොලරයේ ආධිපත්‍යය සම්බන්ධ තුන්වන පියවරට එළඹෙන්නේ පෙට්‍රෝ ඩොලරය හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳ කතාව ඊළඟ සටහනෙන් බලාපොරොත්තු වන්න.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here