සමාජ මාධ්‍යවල සංසරණයවන වීඩියෝ පටයක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

0
13


පොලිස් නිලධාරියෙකු විසින් නිවසක දොරකට පයින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීම ගැන පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීම නෙල්ලිඅඩි පොලිස් වසමේ සිදු වූ සිදුවීමක් වන අතර, ඒ සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වාර්තාවක් යොමු කර තිබුණා.

ඒ අනුව, පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, 2025.03.24 වන දින නෙල්ලිඅඩි පොලිස් වසමේ වේම්බඩි ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වා ගෙන යමින් කුඩා එළ ගව පැටියෙකු මරා මස් කිරීමක් සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි වැටලීමක් සිදුකර ඇත්තේ.

එම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ නිවසකට පිටුපසින් යාබදව පිහිටි ගවයින් ඝාතනය කිරීමට සකස් කළ ස්ථානයක ඝාතනය කරන ලද ගව පැටියෙකු මස් කරන ආකාරය නිලධාරීන් විසින් දැක ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු නිවසේ කාමරයක් තුළට දිව ගොස් කාමරයේ දොර වසා දොර අඟුල් දමා ගෙන තිබෙනවා.

සැකකරු පිටතට කැඳවා ගැනීමට නිලධාරීන් කිහිපවරක් උත්සාහ කළ ද ඔහු පිටතට පැමිණ නොමැත.

එම අවස්ථාවේ අසල්වැසි නිවෙස්වල කාන්තාවන් ඇතුළු පිරිසක් එම නිවසට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති අතර නෙල්ලඅඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද එම ස්ථානයට පැමිණ තිබුණා.

සැකකරු තවදුරටත් කාමරය තුළ රැඳී සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කාමරයේ අඟුල් දමා තිබූ දොර විවෘත කිරීමට නිලධාරියෙකු විසින් දොරට පා පහරවල් කිහිපයක් එල්ල කර දොර විවෘත කර ගැනීමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන වේම්බඩි, තුන්නාල දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here