මගෙත් එක්ක තියෙන ප්‍රශ්නයට අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න එපා – ප්‍රශ්නය ආයතන සංග්‍රහයේ නම් එන්න උසාවි!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තමන් සමඟ ඇති ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් අහිංසක මිනිසුන් ප්‍රාණ ඇපයට නොගෙන අධිකරණය හමුවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇතිකරගෙන තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය හමුවේ තෙවන වරටත් අද දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක නියැලෙන අතර එම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා උක්ත ප්‍රකාශය සිදුකරන ලදී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යන වැඩවර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති අතර එය හුදෙක් දේශපාලන අරමුණක් මත සිදුකරන්නක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රජය ලෙස සියලු පාර්ශවවයන්ගේ සාධාරණ ඉල්ලීම් වෙත ඇහුම්කන් දෙන නමුත් එය දඩමීමා කරගෙන ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගැන්වීමට උත්සහ දරන්නේ නම් ඊටද මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවයි අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

”මේ වෙද්දී පශ්චාත් සීමා වාසික වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කරලා තියෙන්නේ. කුඩා කණ්ඩායමක් වෛද්‍යවරු බියගන්වන්න හැදුවට ඒක සාර්ථක වුණේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වර්ජනය මෙහෙයවන කණ්ඩායමෙන් ඉල්ලන්න කැමතියි ඔබට සෞඛ්‍ය ඇමතිවරයා සමඟ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මාත් එක්ක තරහක් තියෙන්න පුළුවන්. වෛර කරන්න පුළුවන්. මාත් එක්ක තියෙන ප්‍රශ්නයට අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේකට පළි නැහැ. ඒ අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපකරුවන්, මිනිස් පළිහක් ලෙස යොදාගන්නට එපා. සාධාරණ හේතුමත නම් සාකච්ජා කරන්න තිබුණා. නමුත් මේක සාකච්ජා කරන්නවත් දෙයක් නැති පදනමක් නැති වර්ජනයක්. ඔබ කියනවා නම් මේ පශ්චාත් සීමාවාසික පත්කිරීම් ලබා දීම නීති විරෝධියි ඒකට ස්ථාන මාරු මණ්ඩල සිටිය යුතුයි ඒක තමයි ආයතන සංග්‍රහයේ තිබෙන්නේ කියල හොඳම දේ ජනතාව පැත්තක තියල මට විරුද්ධව අධිකරණය යන එක. අධිකරණයට ගියා නම් අධිකරණයට එන්නේ එක පැත්තකින් ඇමතිවරයා හැටියට මම. අනිත් පැත්තෙන් GMOA හැටියට ඔබේ කණ්ඩායම. කරුණාකරලා ඇමතිවරයා එක්ක තියෙන ප්‍රශ්නය ජනතාව පිටින් යවන්න එපා. ජනතාව පව්. ඒව මිනිස්සු හරි අසරණයි. අහිංසකයි. 2025 අප්‍රේල් මාසයේදී, 2026 ජනවාරි මාසයේදී වැටුප් වැඩි වීම් ලබා දුන්නා. 2027 ජනවාරි වල තවත් වැටුප් වැඩිවීමක් මූලික වැටුපට එකතු වෙනවා. 2027 ජනවාරි වැඩිවෙන වැටුප් පදනම් කරගෙන 2025 අප්‍රේල් මාසයේ ඉඳල වෛද්‍යවරු ඇතුළු හැමදෙනාටම රාජ්‍ය සේවකයින්ට අමතර රාජකාරී දීමනා,OT, නිවාඩු දින දීමනා වැඩිකරලා තියෙන්නේ. තමන්ගේ අතට ඉහළ වැටුපක් ලැබිල තිබියදීත් ඒක මදියි කියල මේ මොහොතේදීත් වර්ජනය කරනවා නම් ඒක පිටිපස්සේ තියෙන්නේ සාධාරණ හේතුවක් නොවෙයි. අතිශය දේශපාලන හේතුවක්. ඒ කියන්නේ ආණ්ඩුව එක්ක තියෙන ප්‍රශ්නයක්. ආණ්ඩුව පෙරළා ගැනීමේ දේශපාලන වර්ජන වලට ප්‍රතිචාර දක්වන ක්‍රම තියෙනවා. ඒවත් එක්ක තමයි අපි කටයුතු කරගෙන යන්නේ. හැමෝගෙම සාධාරණ ඉල්ලීම් වලට මේ රජය ඇහුම්කන් දෙනවා.දෙන පුළුවන් ආර්ථික සහන ඉහළින්ම ලබා දෙනවා. හැබැයි ඒක දඩමීමා කරගෙන කවුරැ හරි ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වන්න හදනවා නම් ඒකට මුහුණ දෙන්න අපි සූදානම්.” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී.

The post මගෙත් එක්ක තියෙන ප්‍රශ්නයට අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න එපා – ප්‍රශ්නය ආයතන සංග්‍රහයේ නම් එන්න උසාවි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here