රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (04) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහාය පළ නොකරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය R ඥානසේකරම් මහතා සඳහන් කර සිටියේ ඔවුන් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදු කරන අතර රෝහල්වල විශේෂ වෛද්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යන බවය.
එමෙන්ම පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වර්ජනය සඳහා සහාය නොදක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ වෛද්‍යවරුන් 2,300ක් පමණ සිටින අතර සියලු දෙනාම සාමාන්‍ය පරිදි රාජකාරීවල නිරත වන බවත් ප්‍රතිපත්තියක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජන සඳහා සහභාගී නොවන බවත් ඥානසේකරම් මහතා පැවසීය.
එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට ද විවිධ ගැටලු පවතින නමුත් රෝගී ජීවිත අවදානමේ හෙළා වරජනයේ නිරත වීම සිය ප්‍රතිපත්තියක් නොවන බවය.
එම ගැටලු පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන බවත් සමහර ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලබා දී නොමැති බවත් එහිදී ඔහු කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේවන විට දිවයිනපුරා පිහිටි රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන තීන්දු හරහා අක්‍රමිකතා සිදුකරන බවට පවසමිනි.
වෛද්‍ය වර්ජනය පෙරවරු 08 ආරම්භ වූ අතර එය අවසන්වන දිනයක් හෝ වේලාවක් පිළිබඳව මෙතෙක් දැනුම්දී නොමැත.
වෛද්‍යවරු ඉකුත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවලද මෙලෙස වැඩ වර්ජනයේ නිරත වූ අතර ඒවා ක්‍රියාත්මක වූයේ එක් දිනකට පමණකි.
කෙසේවෙතත් මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටී.
Saru News















