Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මැනේජර් ඇතුළු සිව් දෙනකු දවා හළු කළ වැහැර IOC පිරවුම්හලේ පිපිරීම ගැන...

මැනේජර් ඇතුළු සිව් දෙනකු දවා හළු කළ වැහැර IOC පිරවුම්හලේ පිපිරීම ගැන සැකයක්

0
12


suspicion-over-the-explosion-at-the-wehera-ioc-filling-station-which-killed-four-people-including-the-manager

 කුරුණෑගල වැහැර ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලක ලොරි රථයක ගෑස් ටැංකියකට ගෑස් පුරවමින් සිටියදී එහි සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනකු මරණයට පත්ව තවත් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කුරුණෑගල පොලිසිය වාර්තා කරයි.
සඳුදා (07) රාත්‍රී 11.30 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු අඛිල ධනංජය (33), ලොරි රථ සහායක දුෂාන් රවිද ඒකනායක (25), ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු අමිල හර්ෂණ (40) සහ පිරවුම්හල් සේවක හිමල් තුෂාර වික්‍රමරත්න යන අය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කර ඇත.
මෙම හදිසි ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒකාබද්ධව ක්‍රියා කළ අතර ගිනි නිවන රථ, ස්කයි ලිෆ්ට් සහ ජල බවුසර් සියල්ල යොදවා ගින්න මැඩපවත්වා ඇත.
කෙසේ වෙතත්, ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ගත හැකි වූයේ අලුයම 3.00 ට පමණ බව කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සිදු කළ ස්ථානීය පරීක්ෂණයට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන හේරත් මහතා සහ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්නක කොබ්බෑවෙල මහතා ද සහභාගී වී ඇත. මෘත ශරීර පිළිබඳව රජයේ රස පරීක්ෂක නිරීක්ෂණය ද සිදු කර ඇති අතර, වාර්තාව ලැබෙන තුරු අනෙකුත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
පිපිරීමට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර, ගෑස් කාන්දුවක් සිදු වූයේ ද, එසේ නම් එය සිදු වූයේ කෙසේද, ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයක අනාරක්ෂිත ලෙස ගෑස් පිරවීමක් සිදු කළේ මන්ද, ඒ සඳහා නෛතික අනුමැතියක් තිබුණේද යන ගැටලු මතුව ඇත.
කුරුණෑගල පෞද්ගලික කර්මාන්තශාලාවකට අයත් ලොරි රථයක් එහි භාවිත කරන ගෑස් සිලින්ඩර රැගෙන ඊයේ රාත්‍රියේ කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර IOC ඉන්ධන පිරවුම්හලට පැමිණ තිබේ. කිලෝග්‍රෑම් 48ක් බර ගෑස් සිලින්ඩර දහයක් පමණ පිරවීමට ගිය අවස්ථාවේදී මෙම පිපිරීම සිදු වී ඇත.
පිපුරුමත් සමඟ විසි වූ එක් ගෑස් සිලින්ඩරයක් යාබද නිවසකට වැදී එම නිවසට හානි වී ඇති අතර, සිදු වූ පිපිරීමෙන් සහ හටගත් ගින්නෙන් පිරවුම්හලේ ඉන්ධන බෙදා හරින පොම්පවලට ද හානි සිදු වී ඇත.

මගේ මහ ගෙදර තියෙන්නේ පොතුහැර. මම පොතුහැරට යන්නයි මේ ලොරියේ ආවෙ. මගේ අප්පච්චිට කෝල් එකක් දුන්න තව විනාඩි පහළවකින් විතර එනවා කියලා. ඒක කියල විනාඩි පහක් විතර යන්න ඇති. ගෑස් පුරවන කල් ලොරියෙන් බැහැල පැත්තක ඉඳිද්දි තමයි ලොකු සද්දෙකුත් එක්ක ගින්නක් ඇවිළුණේ, යැයි වාරියපොල පාදෙණිය ප්‍රදේශයේ පදිංචි හසිත උදය බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


හානි සම්බන්ධව අදහස් දැක්වූ ඉන්ධන පිරවුම්හල අසල පදිංචි කේ.බී. ජයවීර මහතා මෙසේ කීය.

රාත්‍රි 11.15ට පමණ විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණා. ඒ සමඟම මාගේ නිවෙසේ ජනෙල්, වහල, සීට්, ඉබි යතුරු කැඩී කිලෝ 48ක් ගෑස් පිරවිය හැකි සිලින්ඩරයක් මිදුලට කඩා වැටුණා. මාගේ මෝටර් රථයත් නිවෙසින් ඉවත්කර පවුලේ සියලු දෙනාම නිවෙසින් ඉවත් වුණා. ගින්න විශාල ලෙස පැතිරෙයි යන බිය ඇති වුණා. උදෑසන මාගේ නිවෙසේ මිදුලේ මියගිය පුද්ගලයන්ගේ ශරීර කොටස් කිහිපයක් තිබුණා.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනා දැනට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය තහවුරු කර ඇත. ඒ අතර ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරකු ද සිටින බව වාර්තා වේ.
මියගිය පුද්ගලයින්ගේ සිරුරු දැඩි ලෙස දැවී තිබූ අතර, ඇතැම් සිරුරු කොටස් ඒ අවට ප්‍රදේශයේ විසිරී තිබෙනු දක්නට ලැබුණි. මේ සිද්ධිය වන විට ඉන්ධන පිරවුම්හලේ පසෙක අලෙවියට තැබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මෙන්ම රථවාහන සඳහා භාවිත කරන ගෑස් විශාල ප්‍රමාණයේ ටැංකියක ගබඩා කර තැබීම ද සිදු කර තිබේ.
සිද්ධිය දුටු ඉෂාර මදුශංක බණ්ඩාර සහ හසිත උදය බණ්ඩාර මහත්වරු අවධාරණය කළේ ඉන්ධන හා ගෑස් පිරවීමේදී ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ පුහුණුවක් ලැබීමේ වැදගත්කමයි.

“දැන් ආරංචි වෙලා තියෙනවා අපේ ලොරියේ රියැදුරු මහත්තයයි ගෝලයයි දෙන්නම මිය ගිහින් කියලා. මම මගේ ආයතනයේ ඉංජිනේරු අංශයේ වැඩ කරන්නේ අවුරුද්දක් විතර. ආපදා තත්ත්වයකදී ආරක්‍ෂා වෙන ආකාරය පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. ඒත් මේ වගේ වැඩ කරන හැමෝටම තමන්ගේ ජීවිත ආරක්ෂා වන ආකාරය පිළිබඳ පුහුණුවක් ලැබිය යුතුයි. විශේෂයෙන්ම ඉන්ධන පිරවීමේදී සහ ගෑස් පිරවීමේදී දුරකථන භාවිත නොකිරීම, වාහනය ස්ටාට් නොකිරීම වගේ පුංචි ආරක්ෂිත විධානයන් පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුයි,” යැයි ඔවුහු ප්‍රකාශ කළහ.

පොලිසිය සඳහන් කළේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තුරු ඊට අදාළ අනෙකුත් විමර්ශන සිදු කෙරෙන බවයි. මෙම පිරවුම්හලේ ගෑස් ගබඩා කිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදු වූවක්ද යන්න පිළිබඳ ද විමර්ශන සිදු කෙරෙමින් පවතී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here