ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කිරීම සහ මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරමින් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ අද (02) දියත් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් රැකියා උත්පාදනය වර්ධනය කිරීම සහ ශක්තිමත්, තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමයි.
එම අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව රට තිරසාර වර්ධනයක් කරා මෙහෙයවීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.
ලෝක බැංකුව සමඟ දශක ගණනාවක් පුරා පැවති සහයෝගිතාව මෙම ගමනට ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම නව හවුල්කාරිත්වය යටතේ ඉදිරි වසර පහ තුළදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හරහා අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික සෘජු ආයෝජන සහ ලෝක බැංකුව හරහා අමෙරිකානු ඩොලර් බිලියනයක සහනදායී මූල්‍ය පහසුකම් ලබා දීමට නියමිතය.
එමෙන්ම, පෞද්ගලික අංශයේ නවෝත්පාදන සහ තරගකාරීත්වය දිරිමත් කිරීම තුළින්, ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළට පිවිසෙන තරුණ තරුණියන් මිලියනයකට ගුණාත්මක රැකියා අවස්ථා සපයීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ ලෙස හඳුන්වා දී තිබේ.
Saru News












