ජපානය තුළ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් සංඝ සභාවක් නිල වශයෙන් පිහිටුවා තිබේ.
මෙම සංඝ සභාව පිහිටුවීම අද (02) පස්වරු 2.00ට ජපානයේ Fuji Sugatha Monastery හිදී, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.
ජපානයේ පිහිටි අමරපුර මහා නිකායික විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එදින ජපානයේ දින දර්ශනය අනුව යෙදුණු ගිම්හාන සෘතුවේ දෙවන පෝය දින නිමිත්තෙන් ප්‍රථමයෙන් පොහොය විනය කර්මයද සිදු කර තිබේ.
මෙහිදී අනුශාසනාවක් සිදු කළ පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නාහිමියෝ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික් සංඝ සභා 22ක් පිහිටුවා අවසන් බවත්, විදේශයක පිහිටුවන පළමු සංඝ සභාව මෙය බවත්ය.
වසර 223ක අමරපුර නිකායික ඉතිහාසයේ ජපානයේ සංඝ සභාව පිහිටුවීම විශේෂ සන්ධිස්ථානයක් වන බවද උන්වහන්සේ සඳහන් කළහ.
එමෙන්ම, සංඝ සමගිය වර්ධනය කිරීම, අමරපුර භික්ෂු වංශයේ චිර පැවැත්ම හා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම මෙම සංඝ සභාවේ ප්‍රමුඛ අරමුණු බවද අවධාරණය කර තිබේ.
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්ව ආශිර්වාදාත්මක අනුශාසනාවක් සිදු කර ඇත.
මෙම නව සංඝ සභාවේ නිලධාරී මණ්ඩලයද එම අවස්ථාවේදී තේරී පත් කර තිබේ.
සභාපති – Fuji සුගත භාවනා මධ්‍යස්ථානාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය හුරුලුනිකවැවේ සුධම්ම නාහිමි
ප්‍රධාන ලේකම් – Gumma ශාන්ති විහාරාධිපති දර්ශනපති පූජ්‍ය වැහිගල සාරද හිමි
උපසභාපති Kyoto අශෝකාරාමාධිපති ආචාර්ය පූජ්‍ය වෙම්බුවැවේ සුමනසාර හිමි
නියෝජ්‍ය ලේකම් – Hachiochi සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මුතුකණ්ඩියේ පියදස්සි හිමි
ප්‍රධාන සංවිධායක -Kansai සිරි මෙත්මුණි විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගිඩ්ඩව රාහුල හිමි
තේරී පත් වූහ.
Saru News











