ඉදිරි සති දෙක තීරණාත්මකයි:උග්‍ර ජල අර්බුදයක සලකුණු – ජල කළමනාකරණයට කමිටුවකුත් එයි

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.

මේ වනවිට රට තුළ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සහ ජල පරිභෝජනය ඉහළයෑම හේතුවෙන් පානීය ජලය නිෂ්පාදනය කිරීම ඉදිරියේදී යම් සීමා කිරීමක් කිරීමට සිදුවෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර ලබුගම ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 50කට පමණක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

“ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනය නොලැබී යන්නම ඉඩ තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණා. මේකත් එක්ක අපිට ජල නිෂ්පාදනය ක්‍රමානුකූලව සීමා වෙමින් පවතිනවා. උත්සව සමයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ජල පරිභෝජනය තවත් ඉහළ යන්න පුළුවන් කියලා. ආරෝග්‍ය ශාලා, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ ආයතන පවත්වාගෙන යාමට නම් ජල සම්පාදනය අනිවාර්යයෙන්ම පවත්වගෙන යන්න ඕනේ. කාර්මික අවශ්‍යතාවයන් සඳහා ජල සම්පාදනය කරන්න අවශ්‍යයි. මේවාත් එක්ක ඉදිරි කාලයේදී ජල සම්පාදනය යම් ගැටලුකාරී තත්ත්වයකට එන්න පුළුවන්.

අපේ ජල මූලාශ්‍ර බොහෝ වෙලාවට තියෙන්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ. ජල සම්පාදන මණ්ඩලය යටතේ පවතින්නේ සීමිත ප්‍රමාණයක්. මේ වෙද්දී ජල මූලාශ්‍රවල ධාරිතාවන්වල අඩුවක් තිබෙනවා. ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනයක් ලැබුණේ නැත්නම් තවදුරටත් නරක තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. මේ තත්ත්වය තත්ත්වය කළමනාකරණය කරගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. මේ සඳහා අපි අප්‍රේල් 20 දක්වා වෙනකම් යම් ජල කළමනාකරණය යටතේ ජල සම්පාදනය කරන්න සිදුවෙනවා. මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ, ඇති වෙන්න පුළුවන් නරකම තත්ත්වය කල්පනා කරලා. කලටුවාව ජලාශයේ දින 20කට වගේ පමණයි ජලය ඉතුරු වෙලා තියෙන්නේ. දැන් තියෙන ධාරිතාව අනුව නිෂ්පාදනය කළොත්, යම් සීමා කිරීමකට යන්න වෙනවා. උණුසුම් කාලගුණයත් එක්ක ජල පරිභෝජනය ඉහළ යමින් තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක ජල නිෂ්පාදනය සීමා කිරීමට වෙනවා. කලටුවාව වගේ ජලාශයේ පවතින ධාරිතාවයෙන් නිෂ්පාදනය කළොත්, දින 20කට තමයි ප්‍රමාණවත් වෙන්නේ. නිෂ්පාදන ධාරිතාව අඩු කරලා දින 30කට හෝ 40කට එම ජල ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. වැසි ලැබුණොත්, අපිට මේ තත්ත්වය වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා.” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව එම ප්‍රදේශ සඳහා දින හතරක කාලයක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු යොදා ඇති අතර නැවතත් අප්‍රේල් මස හත්වෙනිදා පාදුක්කට ජල සැපයුම අත්හිටුවනු ඇති.

අප්‍රේල් මස තුන්වෙනිදා රාත්‍රි 8.00 සිට හතරවෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කරනු ඇත.

අනතුරුව ප්‍රදේශයට දින හතරක් අඛණ්ඩව සැපයීම සිදුවන අතර ඒ ප්‍රදේශ සඳහා යළිත් අටවෙනිදා ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

අප්‍රේල් මස හතරවෙනිදා රාත්‍රි 8.00 සිට පස්වෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් පැලැන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

ඉන් අනතුරුව දින 4ක් අඛණ්ඩව එම ප්‍රදේශවලට ජලය ලබා දෙන බවත් නැවතත් 9වෙනිදා යළිත් එම කලාපයට ජල සැපයීම අත්හිටුවීමට නියමිතය.

පවතින අර්බුදකාරී තත්ත්වය මත පානීය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරීවරයා විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.

The post ඉදිරි සති දෙක තීරණාත්මකයි:උග්‍ර ජල අර්බුදයක සලකුණු – ජල කළමනාකරණයට කමිටුවකුත් එයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here