එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය වී නැතැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේන තවදුරටත් අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මේ අතර, අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ද කොළඹ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මීට පෙර කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද දින සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් මෙම වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල් වෙත යැවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.
Saru News













