අප්‍රේල් 01, කොළඹ LNW :
දිනෙන් දින අප රටේ ජනතාවගේ අනාරක්ෂිතභාවය වර්ධනය වන බවත් තෙල් මිල සහ විදුලි බිල ද නැවත වරක් ඉහළ දැමීමේ සූදානමක් ඇති බවත් මේ නිසා ලක්ෂ 220ක් ජනතාව අසීමිත පීඩනයකට කම්පනයකට අසහනයකට ලක් වෙමින් පවතින බවත් ජන සමාජයේ අවදානමට ලක් වූ දරුවන් ළදරුවන් හා මව්වරුන් වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් රජය ක්‍රියාත්මක කළ යුතු බවත් යුනිසෙෆ් සංවිධානය සමඟ කඩිනම් සාකච්ඡාවක් පවත්වා විශේෂිත වූ සුබසාධන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත් රජය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වහලුන් බව පත් නොවී වහාම ජනජීවිතය සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
දැන්වත් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරන්න
රජය කොපමණ කිව්වත් බරපතල පොහොර හිගයක් ඇති වෙමින් යන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ සාකච්ඡා කර කෘෂිකර්මාන්තයේ නියැලී සිටින වී ගොවිතැන බඩඉරිගු තේ ඇතුළු සැම භේග වගාවකටම අවශ්‍ය යෙදවුම් ලබා දීමේ වැඩපිළිවෙළක් සඳහා යොමු වන ලෙසත් අද වන විට බීජවල හිඟතාවක් ඇති බවත් යූරියා වල බරපතල හිඟයක් ඇති බවත් කන්නය අවසන් කරන ගොවියටන් අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවත් තවත් නොබෝ දිනකින් යල කන්නය ආරම්භ වුවත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවත් භෝගවලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවියා කුණු කොල්ලයට අස්වැන්න අලෙවි කිරීම නිසා සමස්ත කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමට ලක්ව ඇති නිසා දැන්වත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කර කෘෂිකර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
අවුරුද්දට වැසෙන කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කරන්න
එසේම ධීවරයන්, කර්මාන්ත ක්ෂේත්‍රය සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ආර්ථියකට දායකත්වය ලබා දෙන සියලු කොටස් කඩාවැටි ඇති මොහොතක නිදිමරගාතේ නොසිට අසහනයට පත් රටේ ආර්ථිකයට සවියක් වන ජනතාව වෙනුවෙන් සමස්ත සුබසාධන ජාතික සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙසත් තවත් දින කිහිපයකින් අලුත් අවුරුද්දට කර්මාන්තශාලා වැසෙන නිසා අලුත් අවුරුද්දෙන් පසුව මේ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම රජයේ වගකීම බවත් පරාටේ නිතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බවත් ආබාධිත ප්‍රජාව වැඩිහිටි ප්‍රජාව අවදානමට ලක්වූ කොටස් ආදී සෑම පුරවැසියකුම ආරක්ෂා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ ආර්ථික ශක්තිය පවත්වාගෙන යාමට වර්ධනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අර්බුධයෙන් ජනතාව රැකගැනීමේ වගකීම සහ වගවිම රජය සතුයි
මේ රටේ ජනතාවගේ මානව අයිතිය සුරක්ෂා කිරීම රජයේ වගකීම බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ජනතාවගේ ආර්ථික සමාජීය සුබසාධන අධ්‍යාපන සෞඛ්‍ය සුබසාධන ධීවර ආදී සෑම අයිතියක්ම ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බවත් මේ අර්බුධයෙන් ජනතාව රැකගැනීමේ වගකීම සහ වගවීම ඇත්තේ රජය සතුව බවත් විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම වැඩපිළිවෙළ විපක්ෂයක් ලෙස ඉටු කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Saru News















