වැඩිහිටි සියලු දෙනාට ආරක්ෂාව, නිදහස, සතුට, සෞඛ්‍ය, ප්‍රවාහනය මෙන්ම අධ්‍යාත්මික යහපැවැත්ම තහවුරු වන ජීවිතයක් සහ වැඩිහිටි අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය විය යුතු බවත්, එය රජයේ මෙන්ම සමාජයේද වගකීමක් බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඇය මේ බව පැවසූවේ, ඊයේ (31) පපැවති, නවීන පහසුකම් සහිතව කතරගම ප්‍රදේශයේ ඉදිකළ Silver Age Center වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මාර්ගගත ව සම්බන්ධ වෙමිනි.
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මේ සඳහා එක් වූයේ සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලේ පිහිටි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ සිටය.
මෙහිදී වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ නියෝජිතයින් විසින් වැඩිහිටි තැනැත්තන් සඳහා ආයතනගත රැකවරණය සපයනු ලබන මධ්‍යස්ථාන නියාමනයට අදාල නියෝග සහ මාර්ගෝපදේශ කෙටුම්පත අගමැති වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කළේය.
මෙහිදී අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“2022 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය විවිධ හේතු නිසා නතර කර තිබුණා. කෙසේ නමුත් ඒ ව්‍යාපෘතිය අපි නැවත ආරම්භ කරලා අද ජනතා අයිතියට පත් කරනවා.
අපේ ප්‍රතිපත්තියේ එක් ප්‍රධාන ප්‍රතිඥාවක් තමයි සියලු දෙනාට ආරක්ෂිත හා අයිතීන් සුරැකෙන සමාජයක් කිර්මාණය කිරීම. ලොකු කුඩා සියලු දෙනාට ඒ අයිතිය, නිදහස සතුට හිමි විය යුතුයි.
ජනගහනය අනුව අපේ රටේ විශාල පිරිසක් ඉතා ශීඝ්‍රයෙන් වැඩිහිටියන් බවට පත්වෙමින් තිබෙනවා. නමුත් වයස අවුරුදු 60 කියන්නේ සමාජයට, ආර්ථිකයට දායකත්වය ලබා දියහැකි ක්‍රියාකාරී වයස් සීමාවක්. වැඩිහිටියන් වුවත් ඔවුන්ටත් විවිධ අවශ්‍යතා තිබෙනවා. හැකියාවන් තිබෙනවා අත්දැකීම් තිබෙනවා. ඔවුන්ටත් සමාජය සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන කියන යථාර්ථය අපි අවබෝධ කර ගත යුතුයි.
වැඩිහිටියන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන ඉතාම වැදගත් එවැනි ආයතන නිසිපරිදි පවත්වා ගැනීම සමාජ වගකීමක්. පවුල තුළත්, ස්වාධිනවත්, විවිධ ආයතන තුළත් ජීවත් වන සියලු වැඩිහිටියන්ට ආරක්ෂාව සහ අවශ්‍ය සේවාව ලබා දෙමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම ඉතාම වැදගත්.
වැඩිහිටියන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය, ප්‍රවාහන, වැඩිහිටි අධ්‍යාපනය, නිදහස, සතුට වගේම ඔවුන්ගේ අයිතීන් සහ වැඩිහිටි අධ්‍යාපනය මෙන්ම අධ්‍යාත්මික යහපැවැත්මත් තහවුරු කළ යුතුයි.
සම්ප්‍රදායිකව වැඩිහිටි නිවාසයක් කියන ආකල්පයෙන් බැහැර වෙලා වැඩිහිටියන්ගේ අවශ්‍යතා අනුව සේවාව සපයන ආයතන ලෙස ගෞරවාන්විතව තමන්ගේ සැඳෑ සමය ගතකරන්න අවශ්‍ය පරිදි ඒ ආයතන පවත්වාගෙන යාම අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවාය.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන ඇතුළු ප්‍රාදේශීය මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් විසින් Silver Age Center වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කළ අතර ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් ඇමති ආචාර්ය උපාලි පන්නිලගේ, අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන්ද මාර්ගගත ක්‍රමයෙන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.


1
Saru News















