ලොව විශාලතම ජනගහනය ගණනය කිරීමට ඉන්දීයාව සූදානමින්

0
5

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රාජ්‍යය වන ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීමේ දැවැන්ත කාර්යය සඳහා එරට නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් පුරා මෙහෙයුම් දියත් කිරීමට සූදානම්ව සිටියි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ මෙම සංගණනය ලබන අප්‍රේල් 01 වනදා සිට ආරම්භ වන බව ඉන්දීය රජය නිවේදනය කළේය.

දශකයකට වරක් සිදුකෙරෙන මෙම ජන සංගණනය මුලින් 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙවර සංගණනය අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

පළමු අදියර – අප්‍රේල් 01 වනදා සිට අන්තර්ජාලය හරහා ස්වයංව ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදීම.

දෙවන අදියර – නිවාස සහ නිවාසවල තත්ත්වයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා නිලධාරීන් නිවසින් නිවසට යාම.

තෙවන අදියර – පුද්ගලයන්ගේ ආර්ථික සහ සමාජීය තොරතුරු මෙන්ම කුලය පිළිබඳ තොරතුරු රැස් කිරීම.

සංගණන කොමසාරිස් මෘතුංජය කුමාර් නාරායන් මහතා සඳහන් කළේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම සියලු දත්ත ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ වාර්තා කරන බැවින්, ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව, බිලියන 1.4කට අධික ජනගහනයක් සහිත ඉන්දියාව 2023 වසරේදී චීනය අභිබවා ගියේය. 

බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ජනගහන වර්ධනය අනතුරුදායක නොවන බවයි.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන් වයස්ගත ජනගහනයක් හමුවේ පීඩා විඳිද්දී, ඉන්දියාවේ පවතින තරුණ ශ්‍රම බලකාය රටේ දියුණුවට මහඟු අවස්ථාවක් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මෙවර සංගණනයේදී කුලය පිළිබඳ තොරතුරු රැස් කිරීම සුවිශේෂී කරුණකි.

ඉන්දියාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවයේ රැකියා කෝටා තීරණය කිරීම සඳහා මෙම දත්ත අතිශය තීරණාත්මක වේ.

අවසන් වරට 2011 වසරේදී කුල දත්ත රැස් කළද, එහි නිරවද්‍යතාව පිළිබඳ ගැටලු හේතුවෙන් ඒවා සම්පූර්ණයෙන් ප්‍රසිද්ධියට පත් කෙරුණේ නැත.

මෙම දැවැන්ත ජන සංගණන ක්‍රියාවලිය 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත බව සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here