බලශක්ති අරපිරිමැස්ම යටතේ එළැඹෙන වෙසක් සහ පොසොන් ආගමික උත්සවවලට කුමක් වෙයිද?

0
5

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය යටතේ මෙරට මතුව ඇති බලශක්ති අර්බුද හමුවේ එළැඹෙන මාසයන් හිදී පැවැත්වෙන ආගමික උත්සව සඳහා කිසිදු විදුලි සීමා කිරීමක් සිදු නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී බලශක්ති කළමනාකරණය කිරීම සඳහා රජය මේ වන විට විවිධ පියවර රැසක් ගෙන ඇති බවත් එහි එක් අදියරක් ලෙස බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා විසින් රජයේ ආයතන සඳහා බලශක්ති අරපිරිමැස්ම සඳහා විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක්ද නිකුත් කර ඇති පසුබිමක එළැඹෙන මැයි සහ ජූනි මාස සඳහා පැවැත්වෙන ආගමික උත්සව සඳහා වැය වෙන විදුලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනතාවගේ ජීවිතයට හැකි තරම් ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාව බවත් එළැඹෙන වෙසක් සහ පොසොන් උත්සව සඳහා විදුලි සීමා කිරීමක් රජය විසින් සිදු නොකරන බවත් එම උත්සය සඳහා රජය විසින් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කටයුතු කරන බවත්ය.

“ජනතාවගේ දෛනික ජීවිතය කියන්නේ ආර්ථික කටයුතු පමණක් නෙමෙයි ජනතාවගේ වින්දනීය, සංස්කෘතික, සෞන්දර්යාත්මක සමාජීය ජීවිතය අපි පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ එළැඹෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය සහ අනිත් ආගමික උත්සයන් කප්පාදු කිරීමට අපේ කිසිදු බලාපොරොත්තු වීමක් නෑ. ඒවාට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය අපේ පැත්තෙන් සිදුවෙනවා. නමුත් ලොකයේ පවතින තත්ත්වය අනුව අපි කවුරුත් හිතනවා බලශක්ති කළමනාකරණය පැත්තෙන් සහ දැනුවත් පරිභෝජනය කියන සංකල්පය යටතේ කටයුතු කරයි කියලා. ඒ නිසා රජය එවැනි උත්සව සීමා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here