රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරේ

0
25


ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල – කිරිබත්ගොඩ ශාඛාව පසුගියදා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් සී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව මෙය වන අතර අංක 163, නුවර පාර, කිරිබත්ගොඩ යන ස්ථානයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමී ව මෙම ඔසුසල ස්ථාපිත කර තිබෙනවා.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සඳහා සහ “රණවිරු විරුසර” කාඩ්පත් හිමියන් සඳහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිත ව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයක්.

නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙඳපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් 1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 53කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුභසිංහාඅරච්චි මහතා ඇතුළු ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන්, සේවකයින්, කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරකයින් ඇතුළු පිරිසක් එක් ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here